General09 September 2021

තෝරා ගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට නව සීමා (වීඩියෝ)

අත්‍යවශ්‍ය හෝ හදිසි නොවන භාණ්ඩ 623ක් ආනයනය කිරීම සඳහා වාණිජ බැංකු මගින් ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි නිකුත් කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඊයේ පැවති මහ බැංකු මූල්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

අධික ආනයන අධෛර්යමත් කිරීම මගින් විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළඳපොල ද්‍රවශීලතාව රැකගැනීම මෙහි අරමුණ බව මහබැංකුව සඳහන් කළා.

මේ යටතේ ජංගම දුරකථන, විදුලි පංකා, රූපවාහිනී, ශීතකරණ, රෙදිපිලි හා උපාංග,වායු සමීකරණ, චොකලට්,ඇපල්,මිදි,දොඩම්,මෝල්ට්,චීස්,බටර් වැනි භාණ්ඩ 623 ක් අත්‍යවශ්‍ය හෝ හදිසි නොවන භාණ්ඩ ලෙස මහබැංකුව මගින් දක්වා තිබෙනවා.

එමෙන්ම මෙම නව කොන්දේසි යටතේ හදිසි නොවන සහ අත්‍යවශ්‍ය නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණය පහසුකම් ලබාදීමෙන් වළකින් ලෙසත් ශ්‍රී ලංකා මහබැංකුව විසින් සියලු බලපත්‍ර ලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට කෝනදේසි පනවා තිබෙනවා.

මෙම කොන්දේසි පැනවීමේ මූලික පරමාර්ථය වන්නේ හදිසි නොවන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම හරහා විදේශ විනිමය අනුපාතිකය ස්ථාවරව තබා ගැනීමයි.

මෙම ලැයිස්තුගත භාණ්ඩ ආනයනලය සඳහා 2019 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1057.9ක් වැයවී ඇති අතර 2020 වසරේදී ඒ සඳහා වැයකර ඇති ඇමරිකානු ඩොලර් මිලියන ප්‍රමාණය 871.2ක්.

එමෙන්ම මෙම වසරේ ජුලි අග භාගය දක්වා මෙම තෝරාගත් භාණ්ඩ ආනනයක සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 753.4ක් වැයකර තිබෙනවා.

මේ අතර, කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ණය ගනුදෙනුකරුවන්ට මින් පෙර ලබා දී තිබූ ණය සහනය දෙසැම්බර් මස 31වනදා දක්වා දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු වෙතින් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු වෙත දැනුම් දී තිබෙන්නේ ණය සහනය දීර්ඝ කිරීමෙන් ගනුදෙනුකරුවන්ට ලබන වසරේ ජනවාරි මාසයේ සිට ණය ගෙවීම් ක්‍රමානුකූලව සිදුකරගෙන යෑමට සහන කාලය උපකාරී වනු ඇති බවයි.

ණය සහනය සඳහා සුදුසකම් ලැබූ ගනුදෙනුකරුවන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකත ඇමතුම් අංක 1935 ඔස්සේ සම්බන්ධ වීමෙන් ලබා ගත හැකියි.

මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී ඇත්තේ දැනට පවතින සංචරණ සීමා හේතුවෙන් ගනුදෙනුකරුවන් විසින් ණය ආපසු ගෙවීමේ දිනය  උපරිම දින 15ක් දක්වා කල් දැමීමට කරන ඕනෑම ඉල්ලීමක් සලකා බලන ලෙසයි.

එවැනි ප්‍රමාදයන් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් කිසිදු අමතර පොලියක් හෝ වෙනත් ගාස්තු අය නොකළ යුතු  බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.



Related Recommends
Hiru TV News | Programmes