General12 December 2021

ගෑස් ආශ්‍රිත සිදුවීමකින් කුණ්ඩසාලේ තිදරු මවක් මරුට - කුරුවිට තරුණියකටත් තුවාල (වීඩියෝ)

මහනුවර - කුණ්ඩසාල - නත්තරම්පොත ප්‍රදේශයේදී ගෑස් ආශ්‍රිතව ඇති වූ සිද්ධියකින් පිළිසුම් තුවාල ලබා රෝහල්ගතව සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

51 හැවිරිදි තිදරු මවක් මෙලෙස මිය ගොස් ඇති අතර, ඇය තාවකාලික පදිංචිය සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ ඇති අවස්ථාවේදී එම අනතුර සිදුව ඇති බව සඳහන්.

මාතලේ - විල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ තාවකාලික ස්ථානයක පදිංචිව සිට ඇති අතර, එම අවස්ථාවේදී නිවසෙහි ගෑස් කාන්දුවක් සිදුවී පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.  

ඉන් අනතුරුවයි ඇය අද දින ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

එමෙන්ම, කුරුවිට - බටුහේන ප්‍රදේශයේ නිවසක ද අද පස්වරුවේ ගෑස් ආශ්‍රිතව ඇති වූ සිදුවීමකින් 19 හැවිරිදි තරුණියන් ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව නිවසේ ඇති වූ ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකින් අද දිනයේදීත් ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වී තිබුණා.

මේ අතර, යළිත් වරක් වෙළදපොළේ ගෑස් හිගයක් මතුව තිබෙනවා.

ලාෆ්ස් ගෑස් සැපයුම සැලකිය යුතු මට්ටමකින් අඩාල වී ඇති අතර බොහෝ ප්‍රදේශවල ලාෆ්ස් ගෑස් දක්නට නොලැබෙන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

එමෙන්ම, ලිට්රෝ සමාගම නව ප්‍රමිතීන් යටතේ වෙළඳපොලට ගෑස් සැපයුවද පාරිභෝගිකයන් පරණ තොග යටතේ මිලදී ගත් ගෑස් සිලින්ඩර මාරු කිරීමට රැගෙන ඒමත් සමග අර්බුදකාරි තත්ත්වයක් මතුව තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය මීට දින කිහිපයකට පෙර ලිට්රෝ සමාගමට නියෝග කළේ දෙසැම්බර් 4 වනදාට පෙර මිලදී ගත් මුද්‍රා ඉවත් නොකළ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, මුද්‍රා ඉවත් නොකළ ගැටලු සහගත ගෑස් සිලින්ඩර හුවමාරු කිරීමට රැගෙන ආ විට නව සිලින්ඩරයක් ලබාදීම සදහා පාරිභෝගිකයන්ගෙන් කාලසීමාවක් ඉල්ලා සිටි බවද වාර්තා වනවා.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ මේ සම්බන්ධයෙන් ලිත්‍රෝ සමාගමෙන් මේ වන විටත් කරුණු විමසා ඇති බවයි.

මෙවන් පසුබිමක ලිට්රෝ ආයතනයට අයත් ගෑස් අඩංගු නෞකාවක් මේ වන විට දිවයිනට ළඟා වී ඇති අතර, නව සංයුතියෙන් යුත් මෙම ගෑස් තොගය හෙට සිට ගොඩබෑමට නියමිතයි.

Related recommendation
Hiru TV News | Programmes