General05 January 2022

ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පසුගිය සඳු දා බාර දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව භානුක රාජපක්ෂ සිය විශ්‍රාම යාමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟ තව දුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමාට නො හැකි වනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ, තමා හට තාමත් එවැනි ලිපියක් භානුක රාජපක්ෂගෙන් ලැබී නො මැති බවයි.

ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා සහ විඳදරා ගැනීමේ මට්ටම් තීරණය කිරීම සඳහා පවත්වන යෝ-යෝ පරීක්ෂණය වෙනුවට කිලෝමීටර් 2 ධාවන පරීක්ෂණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත හදුන්වා දුන්නේ, පසුගිය වසරේ (2021) මුල් කාර්තුවේදීයි.

ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ ඉල්ලීමකට අනුව ගෙන ආ මෙම පරීක්ෂනය තුළ දී විනාඩි 8.35ක කාලයක් තුළ ක්‍රීඩකයින් කිලෝ මීටර 2ක දුර ප්‍රමානය හමාර කළ යුතු ව තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දැන් පෙන්වා දෙන්නේ, ජාතික ක්‍රීඩකයින් මිනිත්තු 8.10 තුළ කිලෝමීටර් 2 ධාවනය අවසන් කළ යුතු බවට යි.

නව සංශෝධනවලට අනුව, මිනිත්තු 8.35 සීමාව තුළ ධාවනය හමාර කරන ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලබන නමුත් එම ක්‍රීඩකයින් අපේක්ෂිත ඉලක්කයට ළඟා වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත්‍රාත්තු ගාස්තුවෙන් ප්‍රතිශතයක් රඳවා ගැනීමටත් යෝජනා වී තිබෙනවා.





Related recommendation
Hiru TV News | Programmes