General31 March 2022

විදුලි කප්පාදුව වෙනසක් වන ලකුණු අන්තිම ඩීසල් විදුලි බලාගාරයක් අද සවස පහට වැඩ නවතී (වීඩියෝ)

අද දිනට ක්‍රියාත්මක කිරීමට නියමිත පැය 13ක් වන විදුලිය අත්හිටවීම පැය 15ක් දක්වා දීර්ඝ කිරීමට සිදු වීමේ අවධානමක් මතුව ඇති බවට විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අප සමග අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයා සඳහන් කළේ මෙම විදුලිය අත්හිටුවීමට අදාල වන සංශෝධන අදාල ඉංජිනේරුවන් විසින් මේ වන විට සිදු කරමින් සිටින බවයි.

මීට හේතු වී ඇත්තේ අද සවස 5.00 වන විට කැළණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවීම නිසාවෙන්.

කැළණිතිස්ස ඩීසල් විදුලි බලාගාරය මගින් මෙගා වොට් 165 ක බලයක් ජාතික පද්ධතියට එක් කරනවා.

මෙම විදුලි බලාගාරයේ වැඩ කටයුතු අත්හිටුවීම හේතුවෙන් එම ඒකක ප්‍රමානය ජාතික පද්ධතියට අහිමිව යනවා.

අප සමග අදහස් දැක්වූ විදුලිබල මන්ඩල ප්‍රකාශකයෙකු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට මෙරට විදුලිය බල සැපයුම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මත බවයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් මෙගාවොට් 800 ක විදුලි බලයක් ජනනය කෙ‍රෙන අතර තවත් මෙගාවොට් 300 කට ආසන්න ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන්නේ මෙරට ජල විදුලියබල බලාගාර ආශ්‍රිත ව ඇති ටර්බයින් යන්ත්‍ර මගින්.

කෙසේ වෙතත් මේ වන විටත් මෙගා වොට් දහසක් පමණ නිෂ්පාදනය කෙරෙන ජල විදුලි උත්පාදනය ද බරපතල ලෙස බිඳ වැටී ඇත්තේ එම විදුලි බල උත්පාදනය ට භාවිත කරන ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන්.

ඉදිරි පුරෝකථනයන් ට අනුව ලබන මස පස්වන දා දක්වා ඩීසල් තොග සංචිත මෙරටට ළඟා වීමේ අවස්ථාවක් නොමැති අතර මේ වන විටත් කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 30.000 ක් රැගත් නෞකාව ටත් අවශ්‍ය කරන ගෙවීම් සිදු කිරීමට ඩොලර් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකුයි උද්ගත වී ඇත්තේ.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට සපයනු ලබන පළමු ඩීසල් තොගය රැගත් නෞකාව මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ ලබන 5 වන දායි.

මේ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තවදුරටත් විසල් සංචිත නොමැති අතර ඔවුන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරන ඩීසල් රඳවාගෙන තිබෙනවා.

අප සමග අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ මේ පවතින තත්ත්වය අනුව ඉදිරි දින දෙක තුන තුළ දී විදුලිය ලබාදීමේ කාලසීමාව දිනකට පැය හය හතකට සීමා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ඒ අනුව දවසේ පැය 24 න් හතරෙන් තුනක පමණ කාලයක් මෙරට ජනතාවට සිදු වනු ඇත්තේ විදුලිබලය නොමැතිව ගත කරන්නටයි.

Related recommendation
Hiru TV News | Programmes