General19 October 2024

කුලී නිවසේ හිමිකාරිය ඝාතනය කර පලාගිය තරුණිය අත්අඩංගුවට

ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ කුලියට නවාතැන් ලබා දෙන ස්ථානයක හිමිකාරිනියක අත් පා බැඳ ගෙල මිරිකා ඝාතන‍ය කිරීමක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය මඟ හරිමින් සිටි තරුණියක බැලුම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් සමත් වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සම්බාහන (ස්පා) ආයතනයක සේවය කළ 22 හැවිරිදි තරුණියක බවයි පොලිසිය සඳහන් කළේ.

දිගින් දිගටම පොලිසිය මඟහරිමින් සිටි මෙම තරුණියව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් අවස්ථා කිහිපයකදීම ගම්පහ සහ කොළඹ සම්බාහන ආයතන රැසක් සෝදිසි කිරීමටද කටයුතු කර තිබෙනවා.

මෙම තරුණිය කලුබෝවිටියාන ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර, ඇයව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් ග්‍රැම් 05ක් සහ මිලි ග්‍රැම් 600ක් සන්තකයේ තබාගෙන සිටි බවත් පොලිසිය සඳහන් කළා.

වැලිවේරිය, ඇඹරලුව දකුණ ප්‍රදේශයේ පදිංචි 57 වියේ පසුවූ කාන්තාවක පසුගිය සැප්තැම්බර් 28 වැනිදා නිවසේදී ඝාතනය කර රන් භාණ්ඩ සොරාගෙන තිබූ අතර, එහිදී මෙම නිවසේ එක් කාමරයක කුලියට නවාතැන්ගෙන සිටි මෙම තරුණිය සහ ඇය සමග ජීවත් වූ පිරිමි පුද්ගලයා මෙම ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී මෙම තරුණිය සහ ඇය සමග නවාතැන්ගෙන සිටි පිරිමි පුද්ගලයා පලා යාමට උත්සාහ කර ඇති අතර, තරුණිය පලා යද්දී එම කාමරයේ රැඳී සිටි පිරිමි පුද්ගලයා අසල්වාසීන් විසින් අල්ලා වැලිවේරිය පොලිසියට භාරදී තිබෙනවා.

අනතුරුව එම පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, පිරිමි පුද්ගලයා මෙම දැන හඳුනාගෙන ඇත්තේ ස්පා ආයතනය වෙත ගිය දිනයකදී බවත් අනතුරුව ඔවුන් දෙදෙනා මෙලෙස මෙම නිවසේ එකට නවාතැන් ගෙන ඇති අතර, තරුණිය සම්බන්ධයෙන් වෙනත් තොරතුරක් තමා නොදන්නා බවයි.
Related recommendation
Hiru TV News | Programmes