General11 March 2026

ලංවිම වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම - අනුප්‍රාප්තික සමාගම්වල ලිපිය නීත්‍යනුකූල නැතැයි ඉංජිනේරු සංගමය කියයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය හමුවේ සේවක අයිතිවාසිකම් සහ වරප්‍රසාද සුරක්ෂිත කරගැනීම උදෙසා වෘත්තීය සමිති 25 ක එකමුතුව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදුකෙරෙන මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එරෙහිව වෘත්තීය සමිති විසින් දිගින් දිගටම සාකච්ඡා කළ ද, විසඳුම් නොලැබීම හේතුවෙන් පසුගිය සඳුදා (9) පස්වරු 3.00 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සිදුවූ බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස අනුප්‍රාප්තික නව සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ 2026 මාර්තු 10 වන දින පැවති සාකච්ඡාවකින් පසු, නව සමාගම් 6 න් 4 ක සභාපතිවරුන්ගේ එකඟතාව සහ අත්සන් සහිත ලිපියක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම ලිපියේ අන්තර්ගතය කෙරෙහි එකඟ විය හැකි වුව ද, එහි නීත්‍යනුකූල වලංගුභාවය පිළිබඳ බරපතළ ගැටලු පවතින බවත්, එම අඩුපාඩු සම්පූර්ණ වන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට නොහැකි බවත් සංගමය අවධාරණය කරනවා.

එම ලිපියේ පවතින ප්‍රධාන අඩුපාඩු ලෙස වෘත්තීය සමිති පහත කරුණු පෙන්වා දෙනවා.

අත්සන්වල නීත්‍යනුකූලභාවය: අදාළ සමාගම් හතරක් වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ හුදෙක් 'සභාපතිවරුන්' ලෙස පමණක් වන අතර, එම පුද්ගලයන්ගේ නම් හෝ අනන්‍යතාව පැහැදිලිව තහවුරු කර නොතිබීම.

අත්‍යවශ්‍ය පාර්ශවයක අත්සන මගහැරීම: ලංවිම සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් පිහිටුවූ සමාගමේ සභාපතිවරයාගේ අත්සන එම ලිපියේ නොමැති වීම.

ව්‍යවස්ථාපිත අනුමැතිය නොමැති වීම: විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා වැනි ව්‍යවස්ථාපිත බලතල සහිත නිලධාරියෙකු විසින් මෙම ලිපියේ අන්තර්ගතය සහතික කර අනුමත (Endorse) කර නොතිබීම.

අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සිදුවන මෙම ප්‍රමාදය සහ ඔහු විසින් මීට පෙර ලබාදුන් වාචික පොරොන්දු ඉටු නොකිරීමේ පුර්වාදර්ශයන් හේතුවෙන්, බලධාරීන් කෙරෙහි පවතින විශ්වාසය පළුදු වී ඇති බවයි ඉංජිනේරු සංගමය වැඩිදුරටත් පවසා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes