General25 June 2026

ඩොලර් මිලියන 700ක කළු සල්ලි ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් වසර තුනක් තිස්සේ නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් මිලියන 700 කට අධික මුදලක් විදේශ රටවලට යැවූ බව කියන ප්‍රධාන සැකකරුවකු ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අසංග එස්. බෝදරගම අද (25) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජිෆ්රි මොහොමඩ් නමැත්තෙක්.

සිද්ධියට අදාල සැකකරු සම්බන්ධයෙන් 54(ආ) වගන්තිය යටතේ සාක්ෂි සම්පිණ්ඩන වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

මූල්‍ය විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මෙම සැකකරු විසින් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ පමණක් නීතිවිරෝධී අයුරින් විදේශ රටවලට යවා ඇති මුදල රුපියල් කෝටි විසි එක්දහසකට (රු. කෝටි 21,000) අධික බවත් මොහු මෙරට ජාතික ධනය විදේශයන්ට ඇද දැමූ, මෙරට ඉතිහාසයේ විශාලතම සහ ප්‍රධානතම කළු සල්ලි ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බවත් ය.

එය අමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා වැඩි දැවැන්ත මුදලක් වන අතර, මෙමඟින් මෙරට ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම සුළුපටු නොවන බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

විමර්ශන නිලධාරීන් සඳහන් කළේ කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක් වටලා මෙම සූක්ෂ්ම ජාවාරම අනාවරණය කරගත් බවයි.

එහිදී ජිෆ්රි මොහොමඩ් නමැති මෙම පුද්ගලයා අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

මීගමුවේ පිහිටි නිවාස සංකීර්ණයක සැඟවී සිටියදී මෙම සැකකරු ඉකුත් (19) වැනිදා අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කළ බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පවා ඔහු සතුව රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් තිබී සොයාගත් බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 09 වැනිදා තෙත් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබුවා.
Related recommendation
Hiru TV News | Programmes