International08 July 2026

ඉන්දුනීසියාවේ ඉහළම සිවිල් සම්මානයෙන් අගමැති මෝදි පිදුම් ලබයි

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර අගයමින්, ඉන්දුනීසියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානය වන Bintang Adipua පදක්කමෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිදුම් ලබා තිබෙනවා.

ඊයේ පැවැති විශේෂ උත්සවයකදී ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ විසින් අග්‍රාමාත්‍ය මෝදි වෙත මෙම පදක්කම පිරිනමා ඇති බවයි වාර්තා වෙන්නේ.

"අද උදෑසන ඉන්දුනීසියාවේ ඉහළම ගෞරව සම්මානයෙන් මා පිදුම් ලැබුවේ අතිශය ලෙන්ගතු හැඟීමෙන් යුතුවයි. මෙම උපහාරය කෝටි සංඛ්‍යාත ඉන්දියානු ජනතාවට මෙන්ම, ඉන්දුනීසියානු ජනතාවගේ හෘදයාංගම හැඟීම්වලට සහ දෙරට අතර පවතින ඓතිහාසික මෙන්ම සමීප සබඳතාවලට හිමිවන්නක්," යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය 'X' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ ජනාධිපති ප්‍රබෝවෝ ටත්, ඉන්දුනීසියානු රජයට සහ එහි වැසියන්ටත් හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බවයි.

මේ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දිර් ජයිස්වාල් 'X' හි සටහනක් තබමින් පවසා සිටියේ මෙම සම්මානය ඉන්දු-ඉන්දුනීසියානු මිත්‍රත්වයට පිදුණු සුවිශේෂී උපහාරයක් බවයි.


Related recommendation
Hiru TV News | Programmes