General08 July 2026

ඝාතනයකට සම්බන්ධ විත්තිකරුවන් 08කට වසර 29කට පසු මරණීය දණ්ඩනය

පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල විසින් මෙම දඩුවම් නියම කරනු ලැබුවා.

මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් හත් දෙනෙකු අද (08) දින අධිකරණයේ පෙනී සිටි අතර, තවත් එක් විත්තිකරුවකු නොමැතිව නඩු විභාගය පැවැත්වීමටද අධිකරණය තීන්දු කර තිබුණා.

1997 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ අධිකරණය බලසීමාවට අයත් තාරාවත්ත ප්‍රදේශයේ දී හේවා බටගොඩගේ කුසුමාවතී සහ වේලායුධම් උදයකුමාර් යන අයගේ මරණය සිදු කර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අපරාධ සිදු වී ඇති අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා කියා සිටියේ මෙම විත්තිකරුවන් එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes