General16 July 2026

බන්ධනාගාර තදබදය අවම කිරීම ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බන්ධනාගාර ආශ්‍රිත ගැටලු සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදි කිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

එමෙන්ම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීම, සේවා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි බඳවා ගැනීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය ඉහළ නැංවීම, නවීන තාක්ෂණික උපකරණ ලබා ගැනීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය වී තිබෙනවා.

බන්ධනාගාර තදබදය පාලනය කිරීම හුදෙක් පරිපාලනමය කරුණක් නොව ජාතික වැදගත්කමක් සහිත කරුණක් ලෙස සලකා, අධිකරණය, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇතිව කටයුතු කිරීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කර ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes