General17 July 2026

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් සලකා බැලීම අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ඒ, එම පෙත්සම් අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව අටක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්‍රකාශ කළේ, පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධනගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලන බවයි.

ඒ අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත අදාළ පෙත්සම් සළකා බැලීම සඳහා අගෝස්තු මස 04 සහ 06 යන දිනවල කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
Related recommendation
Hiru TV News | Programmes