General17 July 2026

හිටපු පොලිස්පතිවරයා සිය ‍පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන අතර, මාළඹේ පොලිසියද පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා.

මාලඹේ, තලාහේන, පරාක්‍රම මාවතේ පිහිටි සිය නිවසේදී අද (17) පෙරවරුවේ වෙඩි තබාගෙන හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මිය ගොස් තිබුණා. එය සියදිවි හානි කරගැනීමක් බවට සැක කෙරෙනවා.

ඔහු වෙඩි තබාගෙන ඇත්තේ සිය ආරක්ෂක නිලධාරියෙකු සතුව තිබූ පිස්තෝල අවියක් ඉල්ලා ගැනීමෙන් බව ද අනාවරණ වුණා.

අදාළ ගිනි අවියේ තත්ත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට හිටපු පොලිස්පතිවරයා පවසා ඇති අතර, ඒ අනුව නීතියට අනුකුලව ගිනි අවියේ මැගසිනය ඉවත් කර එය ලබා දීමටයි ආරක්ෂක නිලධාරියා කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත්, අවිය රැගෙන ගිය ඔහු තමා ළග තිබූ වෙනත් උණ්ඩ යොදා මෙම වෙඩිතැබීම සිදුකරගෙන ඇති බවයි දැනට අනාවරණය වන්නේ.

63 හැවිරිදි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දෙදරු පියෙක්.

උදෑසන ශරීර සුවතා ව්‍යායාමවලට යාමට පෙර මෙය සිදුව ඇති අතර එම අවස්ථාවේ ඔහුගේ පවුලේ සාමාජිකයින් ද නිවසේ සිට තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය දිවි නසාගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

වෙඩිවැදී සිටි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කඩිනමින් නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත යොමු කෙරුණ ද ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.

බස්නාහිර අපරාධ කොට්ඨාසයේ දකුණු දිසාව භාර නිලධාරීන්, මිරිහාන අපරාධ ස්ථානීය පරීක්ෂක නිලධාරීන් සහ ඇඟිලි සලකුණු අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් මෙන්ම නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාද හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ නිවසට පැමිණ පසුව විමර්ශන සිදු කළා.

පරික්ෂණ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියද අද පස්වරුවේ හිටපු පොලිස්පතිවරයාගේ නිවසට පැමිණි බවයි හිරු වාර්තාකරු පැවසුවේ.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් සිදු කරනු ලැබුවා.

එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ මාලබේ පොලිසිය මීට අදාළව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.

මේ අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ බිරිඳගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඇය එහිදී පවසා ඇත්තේ සිය පුත්‍රයෙකු සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුත්තක් නිසා ඔහු දැඩි කම්පනයෙන් සිටි බවයි.

එහිදී එම පුතු යම් කාලයක් සිර මැදිරියේ රඳවා තබා ඇති අතර, එයද ඔහුගේ කම්පනයට දැඩි ලෙස හේතු වී ඇති බව බිරිඳ පවසා තිබෙනවා.

1986 ජූනි 16 වැනිදා ශ්‍රී ලංකා පොලිසියට සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස එක් වූ සී.ඩී වික්‍රමරත්න, පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වුණා.

2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවුණු අතර වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණේ සී.ඩී. වික්‍රමරත්නයි.

ඉන් අනතුරුව 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න වැඩ භාරගත් අතර, ඔහු 2023 නොවැම්බර් 23 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කරනු ලැබුවා.

සී.ඩී.වික්‍රමරත්න විශ්‍රාම යෑමට නියමිතව තිබු‍ණේ 2023 මාර්තු මාසයේදී වුවද, ඔහුට අවස්ථා හතරකදී සේවා දිගු ලබා දී තිබුණා.

පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සාක්ෂිකරුවෙකු ලෙස ප්‍රකාශ ලබා දී තිබුණා.

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ සිරුර මේ වන විට නැගෙනහිර -කොළඹ මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර, පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes