General09 September 2026

අස්වැසුම මුදල් වංචාවකට ගුරුවරුන් 6කගේ වැඩ තහනම් කෙරේ

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුවූ කෝටි 2කට අධික අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම කාර්යාලයේ අංශභාර සැකකාරියන් දෙදෙනා ලබන 22 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් නියෝග කර තිබෙනවා.

ඒ එම සැකකාරියන් දෙදෙනා ඊයේ (08) ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම මුදල් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, වංචා කරන ලද මුදල රුපියල් කෝටි 2 ඉක්මවන බැවින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව හැටන් කොට්ඨාස විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර මුදල් අමාත්‍යාංශයේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකාරියන් දෙදෙනා විසින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කරන ගුරුවරුන් 6 දෙනෙකුගේ බැංකු ගිණුම්වලටද මෙසේ වංචනික ලෙස මුදල් බැර කර ඇති බවයි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් විසින් කරන ලද දැනුම්දීමකට අනුව, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එකී ගුරුවරුන් 06 දෙනාගේ වැඩ තාවකාලිකව තහනම් කර ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳවද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව, ප්‍රධාන සැකකාරියකගේ සහෝදරයෙකුගේ ගිණුමකටද විශාල වශයෙන් මුදල් බැර වී ඇති බව අනාවරණය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උසස් තනතුරක් දැරූ එම තැනැත්තාගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමට දිස්ත්‍රික් ලේකම්වරිය පියවර ගෙන තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes