Sports19 October 2025

වැස්සට සේදීයන කාන්තා ලෝක කුසලාන ලකුණු සටහන

පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර ඊයේ (18) කොළඹ දී පැවති තරගයත් ප්‍රතිඵල රහිතව අවසන් වී තිබෙනවා.
එම තරගයත් සමඟ තරගාවලියේ තරග 4 ක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුව ඇති බව සඳහන්.

ඒ අනුව ICC කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම තවදුරටත් පෙරමුණ ගෙන සිටිනවා.

ඔවුන් මේ වන විට තරග 5 ක් අවසානයේ ජයග්‍රහණ 4 ක් සහ එක් ප්‍රතිඵල රහිත තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 9 ක් ලබා ගෙන ප්‍රථම ස්ථානයේ පසුවන අතර, ඔවුන්ගේ NRR අගය 1.818 ක්.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම විසින් හිමි කරගෙන ඇති අතර, ඔවුන් තරග 5 ක් ක්‍රීඩා කර ජයග්‍රහණ 4 ක් සහ එක් පරාජයක් සමඟින් ප්‍රසාද ලකුණු 8 ක් ලබා ගෙන සිටිනවා.

එංගලන්ත කාන්තා කණ්ඩායම තරග 4 ක් අවසානයේ ජයග්‍රහණ 3 ක් සහ එක් ප්‍රතිඵල රහිත තරගයක් හේතුවෙන් ප්‍රසාද ලකුණු 7 ක් ලබා තෙවන ස්ථානයේ රැඳී සිටින අතර, ඔවුන්ගේ NRR අගය 1.864 ක්.

තරග 4 ක් අවසානයේ ප්‍රසාද ලකුණු 4 ක් ලබා සිටින ඉන්දීය කාන්තා කණ්ඩායම සිව්වන ස්ථානයේ රැඳී සිටින අතර, ඔවුන්ගේ NRR අගය 0.682 ක්. නවසීලන්ත කාන්තා කණ්ඩායම තරග 5 ක් අවසානයේ ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගෙන පස්වන ස්ථානයේ පසුවනවා.

තරග 5 ක් ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් සමඟින් හයවන ස්ථානයට පත්ව සිටිනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තවදුරටත් හත්වන ස්ථානයේම රැඳී සිටිනවා. ඔවුන් තරග 5 ක් අවසානයේ ප්‍රතිඵල රහිත තරග දෙකක් හේතුවෙන් ප්‍රසාද ලකුණු 2 ක් ලබා සිටින අතර, ශ්‍රී ලංකා NRR අගය -1.564 ක්.

පාකිස්ථාන කාන්තා කණ්ඩායම ද තරග 5 ක් අවසානයේ ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගෙන අටවන ස්ථානයට පත්ව තිබෙනවා.

අද (19) ඉන්දියාවේ ඉන්දෝර්හිදී ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර ප.ව. 3:00 ට ආරම්භවීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes