මාලිංගට පැවැත්වූ විනය පරීක්ෂණයේ ප්‍රතිපලය එළියට

Tuesday, 27 June 2017 - 20:35

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%BD%E0%B6%BA+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ක්‍රීඩක කොන්ත්‍රාත්තු කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් ලසිත් මාලිංග මාස 6 ක කාලයකට අත්හිටවූ වසරක තරග තහනමක් පනවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද තීරණය කළා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍යයට අදහස් දැක්වීම සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයකදී මාලිංග වරද පිලිගැනීමෙන් අනතුරුවයි.

ඊට අමතරව ලසිත් මාලිංග මීළඟට සහභාගිවන එක්දින තරගයේ ගාස්තුවෙන් සියයට 50 ක දඩ මුදලක්ද පනවා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ පෙනී සිටීම සඳහා ඔහු ක්‍රිකට් ආයතනය වෙත පැමිණියේ අද පස්වරුවේයි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලසිත් මාලිංග හිරු ටී.වී. වෙත පළ කළ අදහස් ද මෙලෙස විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුවක් වුණා.

දෙවරක් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කර ඇති මාලිංග ඒ සඳහා නිසි අවසරයක් නොගැනීම ක්‍රීඩක කොන්ත්‍රාත්තු කොන්දේසි උල්ලංඝනය කිරීමක් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ විනය කමිටු පරීක්ෂණයේදී මාලිංග තම වරද පිළිගත් බවයි.

විනය කමිටුව හමුවේ පෙනී සිටිමෙන් පසු ලසිත් මාලිංග සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පළමු එක්දින තරගය සඳහා ගාල්ල බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වුණා.