General29 January 2021

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට

කොවිඩ් 19 ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

අමාත්‍යවරිය ඊයේ වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුලත් කෙරුණා.

හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි අමාත්‍යවරිය කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි IDH රෝහලට මාරුකර යවා තිබුණේ.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියාසිටියේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.

ඇය සඳහන් කළේ තමන් මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට නොහැකි වුවත්, එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි.

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ වූ එන්නත් කිරීමේ වැඩසටහන හෙට දින සිට මුළු දිවයින ආවරණය වන පරිදිම සිදුකරන බවයි අමාත්‍යවරිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.
Related recommendation
Hiru TV News | Programmes