General05 August 2021

අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුලු 44 දෙනා අධිකරණයට - කොරෝනා පරීක්ෂණයේදී ආසාදිතයන් නොවන බවට හෙළිවේ

ගුරු - විදුහල්පති විරෝධතා රථ පෙළපාලියට සහභාගිවී නැවත යමින් සිටියදී අත්අඩංගුවට ගත් හතළිස් හතරදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිසට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී ඔවුන් කිසිවෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන නැහැ.

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් දැනට ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනයක නිරතව සිටින ගුරු විදුහල්පතිවරුන් ඊයේ මාර්ග හතරක් ඔස්සේ රථ පෙළපාලියකින් කොළඹට පැමිණියා.

ජනාධිපති කාර්යාලය ඉදිරියට පැමිණි මොවුන් පසුව එහි විරෝධතාවක නිරතවුණා. ඔවුන් විසිර ගියේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

මේ අතර විරෝධතාව අවසන් කර නැවත යමින් සිටියදී 44 දෙනෙකු වාහන 10 කුත් සමඟ පොලිසිය අත්අඩංගුවට ගත්තා.

මොවුන් අතර ගුරුවරුන් 22 කු, ගුරුවරියන් 16 දෙනෙකු සහ පිටස්තර පුද්ගලයින් හයදෙනෙකුද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

අත්අඩංගුවට ගත් පිරිස කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහිදී ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවටයි අනාවරණ වී ඇත්තේ.  

මේ අතර ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති ඊයේ මහනුවර නගරයෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඔවුන් ලබන සඳුදා කොළඹට ළඟාවීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes