General22 August 2021

අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට

රට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බවට ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය අසත්‍යයක් බව පෙරේදා මාධ්‍ය හමුවක් කැඳවමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අදාළ ප්‍රකාශය අසත්‍යයක් බවට අනාවරණ වී ඇති බවයි.

මේ අතර ලෝක වෙළඳපලේ ඉන්ධන මිල සීග්‍රයෙන් පහළ වැටී ඇති බැවින් ඉන්ධන මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඉල්ලීමක් කරනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කළ ජූනි 11 වනදා බොරතෙල් බැරලයක මිල සහ මේ වනවිට පවතින මිල සංසන්දනය කිරීමේදී සියයට 12කින් ලෝක වෙළඳපලේ ඉන්ධන මිල පහත වැටී ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes