General08 January 2022

රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)

ප්‍රවීන සිනමා නළු රොබින් ප්‍රනාන්දු වයස අවුරුදු 84ක්ව සිටිය දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහරගම - වත්තේගෙදර පිහිටි සිය නිවසේ දී අද උදෑසන ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

වසර දෙකකට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු 1964 වසරේ දී සිනමාවට පිවිසුණේ චණ්ඩියා චිත්‍රපටයෙන්.

එහෙත් මුල්වරට ප්‍රදර්ශනය කෙරුණු ඔහු රඟපෑ චිත්‍රපටය වන්නේ ධීවරයෝ චිත්‍රපටයයි.

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ රොබින් ප්‍රනාන්දු සටන් කලාවලින් වර්ණ දිනූ අතර, සිංහල සිනමාවේ ඔහු ප්‍රකට වූයේ සටන් නළුවෙකු ලෙසයි.

සැබෑ සිදුවීම් පදනම් කරගනිමින් සුරදූතියෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රොබින් ප්‍රනාන්දුගේ අවසන් අධ්‍යක්ෂණය නින්ජා - ශ්‍රී ලංකා චිත්‍රපටයයි.

බයිසිකල් හොරා, කවුද හරි, ඔහොම හොඳද, රන් ඔන්චිල්ලා, බිඳුණු හදවත්, හාරලක්ෂය, හිතක පිපිණු මල්, ලොකුම හිනාව, සිංගප්පූරු චාලි, අපරාධය හා දඬුවම, සිහසුන, ජීවන ගංඟා, සිකුරු ලියා, සිරිපාල සහ රන් මැණිකා, වීරපුරන් අප්පු, අපේක්ෂා, සංඛපාලි, බඹා කෙටූ හැටි, ලොකු තාත්තා, විසිදැල, දඩබිම, සුසීමා, මහරජ අජාසත් ඇතුලු සිනමා නිර්මාණ 93ක සිය කුසලතා විදහා දැක්වීමට රොබින් ප්‍රනාන්දු සමත්වුණා.

ඉරබටු තරුවෙන් පුංචි තිරයට පිවිසුණු ඔහු, සෙක්කුගෙදර, උරුමය සොයා ආදී ටෙලි වෘතාන්ත රැසකට ම රංගනයෙන් දායක වී තිබෙනවා.

අභාවප්‍රාප්ත සිනමා නළු රොබින් ප්‍රනාන්දුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

Updated 2022 - 01 - 08 01.00 PM
------------------------------------------------------------------------------------------------------------------------------------------------

ප්‍රවීන චිත්‍රපට නළු රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන මියගිය බව වාර්තා වනවා.

මිය යනවිට අසූ හතර හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලැබුවා.

සිංහල සිනමාවේ අසහාය සටන් නළුවකු ලෙස සැලකෙන රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට පදිංචිව සිටියේ, මහරගම වත්තේගෙදර මාවතේ නිවසේ යි.

පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු සිය සිනමා දිවිය ට අත්පොත් තබන්නේ 1965 වර්ෂයේ චන්ඩියා චිත්‍රපටය හරහා යි.

ඔහු 1965 වර්ෂයේ සිට 2018 වසර දක්වා දශක පහකට වැඩි කලක් මෙරට සිනමා ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් රඟපා ඇති චිත්‍රපට සංඛ්‍යාව 93ක්.

චණ්ඩියා චිත්‍රපටයෙන් සිය දීර්ඝ සිනමා චාරිකාව අරඹන ඔහු එය නිමා කරන්නේ 2018 වර්ෂයේ තිරගත වූ ආදරෙයි මං චිත්‍රපටයෙන්.

ඔහුගේ දීර්ඝ සිනමා චාරිකාව තුළ චන්ඩියා, බයිසිකල් හොරා, හාර ලක්ෂය, රක්තා, බෝනික්කා, සුරදූතියෝ, සිරිපාල සහ රන් මැණිකා, මුවන්පැලැස්ස, ninjas sri lanka, මව්බිම නැත්නම් මරණය, දඩබිම, හස්ති වියරුව ආදී චිත්‍රපට විශේෂයෙන් කැපී පෙනුණා.

සටන් නළුවකු ලෙස සිංහල සිනමාවට පිවිසි රොබින් ප්‍රනාන්දු චරිතාංග නළුවකු ලෙසත් කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කළ නළුවෙක්.

බටහිර ආරේ චිත්‍රපට ආකෘතීන් මෙරට සිනමාවට එක්කිරීම සඳහා ඔහු මහත් පරිශ්‍රමයක් දැරුවා.

1985 වර්ෂයේ ඔහු අධ්‍යක්ෂණය කළ සුරදූතියෝ චිත්‍රපටය ඒ ආකාරයෙන් ඔහු සිදු කළ එක් අත්හදාබැලීමක්.

80 දශකයේ ප්‍රකටව තිබූ බටහිර රූපවාහිනී කතා මාලාවක් වන charlies angels ආශ්‍රයෙන් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය මෙරට ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වූණා.

එමෙන්ම නින්ජා ශ්‍රී ලංකා චිත්‍රපටයත් හොංකොං සහ hollywood රිදී තිරයේ ප්‍රකට ව පැවැති චීන ආත්මාරක්ෂක සටන් කලාවන් සම්බන්ධයෙන් කෙරුණු චිත්‍රපට ආශ්‍රයෙන් මෙරට දී නිර්මාණය කෙරුණක්.

වසර 57ක් දිගැති සිය දීර්ඝ සිනමා චාරිකාව තුළ දී චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කර ඇති රොබින් ප්‍රනාන්දු 1971 තිරගත වූ බිඳුණු හදවත් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ලෙසටත් කටයුතු කර තිබෙනවා.

ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇති.

සිංහල සිනමාවේ සටන් කලාවට මනා පෞර්ෂයක් ගෙන ආ හෙළ සිනමාවේ සෙන්පතියානනි ඔබට නිවන් සුව !

Related recommendation
Hiru TV News | Programmes