General03 March 2022

වෙළෙඳපොළේ යළි ගෑස් හිඟයක් (වීඩියෝ)

ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වනවිට යළිත් වරක් වෙළදපොළ තුළ ගෑස් හිඟයක් උද්ගතව තිබෙනවා.

ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් අඩංගු නෞකා 3ක් මෙරටට ළඟා වී ඇතත් එහි තොග ගොඩබෑමට නොහැකි වී ඇත්තේ ණයවර ලිපි විවෘත කර ඩොලර් ගෙවීමට නොහැකිවීම හේතුවෙන්.

මෙම තත්ත්වයත් සමඟ ලිට්රෝ ගෑස් බෙදා හැරීම, කර්මාන්තශාලා සහ ආදාහනාගාරවලට පමණක් සීමා වී තිබෙනවා.

බෙදා හරින ලද ගෑස් තොග සීමිත ප්‍රමාණයක් වෙළදපොළේ තවදුරටත් අලෙවි වන අතර ඉදිරියේ දී එම සැපයුම ද අඩාල වනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලාෆ් සමාගමේ ගෑස් බෙදා හැරීම ද මුළුමනින්ම නවතා දමා තිබෙනවා.

එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සදහන් කළේ, පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් සිය සමාගමට ආනයනික ගෑස් තොග රට තුළට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මේ වනවිට වෙළදපොළ තුළ පාරිභෝගික අලෙවිය සඳහා ගෑස් නොමැති බව ද ලාෆ් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, ගත වූ මාස කිහිපය තුළ අවස්ථා ගණනාවක දී ගෑස් ආනයනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඩොලර් අර්බුදය, එක් හේතුවක් වූ අතර ආන්දෝලනාත්මක තත්ත්වයක් බවට පත්වූයේ ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවීමත් සමඟයි.

විමර්ශනවල දී අනාවරණය වූයේ එහි ප්‍රමිතිය වෙනස් කර ඇති බවට යි.

Related recommendation
Hiru TV News | Programmes