General02 July 2022

පොහොර නැතිව වේළි වේළි යන ගොවිතැන (වීඩියෝ)

රසායනික පොහොර නොමැතිවීම මෙන්ම ඉන්ධන හිඟය ද කුඹුරු ගොවිතැන මෙන්ම එළවළු වගාව ද මේ වන විට පත් කර ඇත්තේ දැඩි අර්බුදයකටයි.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසක එළවළු වගාවන් විනාශ වී ඇති අතර ඇතැම් ගොවීන්ට සිය වගාවන් ආරම්භ කිරීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව පවතිනවා.

ගොවීන් පවසන්නේ පොහොර අර්බුදයෙන් පීඩාවට පත් වී සිටින තමන් ඉන්ධන අර්බුදය හේතුවෙන් කබලෙන් ළිපට වැටී ඇති බවයි.

මින්නේරිය ගොවි ජන ව්‍යාපාරය යටතේ වගා කටයුතු සිදු කරන හිඟුරක්ගොඩ, දියබුබුල ප්‍රදේශයේ ගොවි ජනතාව සිය කුඹුරු වගාවන් ආරම්භ කර ඇත්තේ මාසයක පමණ කාලයක ප්‍රමාදයකින් අනතුරුවයි.

ඒ මේ වන තෙක් වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොලැබීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙතෙක් පොහොර ලැබී නොමැති පසුබිමක වුවත් ඔවුන් මේ වන විට සිය වගා කටයුතු ආරම්භ කර ඇත්තේ හැකි ආකාරයකින් ඒවා සාර්ථක කර ගැනීමේ අරමුණින්.

රජයෙන් ලබාදෙන කාබනික පොහොර හෝ ලැබී නොමැති බවට චෝදනා කරන ගොවීන් ඉල්ලා සිටින්නේ ප්‍රමාද වී හෝ තමන්ට ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන ලෙසයි.

මේ අතර අනුරාධපුරය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක ආශ්‍රිතව සිදු කරන ලොකු ලූනු වගාව ද මේ වන විට දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

ඒ රසායනික පොහොර නොලැබීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන්.

මෙම ප්‍රදේශවල ජනතාව ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන් අතහැර දමා තිබුණත් පොහොර ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිය වගාවන් ආරම්භ කර තිබෙනවා.

නමුත් මෙතෙක් පොහොර නොලැබීමෙන් ඔවුන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

එමෙන්ම භූමි තෙල් නොමැති වීමෙන් සිය වගාවන් සඳහා ජලය සපයාගැනීම ද අසීරු වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

මෙවන් පසුබිමක හබරණ - පුවක්පිටිය ප්‍රදේශයේ ලොකු ලූනු ගොවීන් කාබනික පොහොර භාවිතයෙන් සිය වගා කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ මේ වන විට කාබනික වගාවෙන් සිදුකර ඇති වගාවන් සාර්ථක වී ඇති බවයි.

මේ අතර රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් පොළොන්නරුව - මින්නේරිය රොටවැව ප්‍රදේශයේ එළවළු වගාවන් විනාශ වී තිබුණා.

ගොවීන් චෝදනා කරන්නේ නිසි කලට රසායනික පොහොර සහ කෘමිනාශක නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවටයි.

අක්කර 10කට අධික වගා බිම් ප්‍රමාණයක් මෙලෙස විනාශයට පත්ව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් කාබනික පොහොර භාවිතයෙන් සිය එළවළු වගාව සාර්ථක කර ගත් මින්නේරිය - රජ ඇළ ප්‍රදේශයේ පුද්ගලයෙක් පිළිබඳව ද අපට වාර්තා වුණා.

මීට පෙර යුද හමුදාවේ සේවය කර ඇති ඔහු 2001 වසරේදී යුද්ධයෙන් රණක්ෂිතයට පත් වීමෙන් අනතරුව ගොඩ භෝග වගාවට යොමු වී ඇති අතර මේ වන විට කාබනික පොහොර භාවිතයෙන් සිය වගා කටයුතු සාර්ථක කරගෙන තිබෙනවා.


Related recommendation
Hiru TV News | Programmes