General10 March 2023

ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට කෝප් කමිටුවෙන් නිර්දේශ රැසක් (ඡායාරූප)

ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට කෝප් කමිටුවෙන් නිර්දේශ රැසක් ලබා දුන් බව සඳහන් කරමින් සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මෙතෙක් ප්‍රමාද වී ඇති සියලු වාර්ෂික වාර්තා මාසයක කාලයක් තුළ ඉදිරිපත් කරන ලෙසට කෝප් කමිටුවෙන් නිර්දේශ කර තිබෙනවා.

තවද රක්ෂණ සංස්ථාව යටතේ මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපත්වල පිහිටුවා ඇති විශාල මූල්‍ය පාඩුවක් ලබා තිබෙන ශාඛා ද්විත්වය විධිමත් ආකාරයට වසා දැමීම සඳහා කෝප් කමිටුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිරීක්ෂණ යැවීමට පියවර ගන්නා බවයි සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම රක්ෂණ සංස්ථාවට අයත් දැනට ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන ඉඩමට සහ ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කිරීමට රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා කෝප් කමිටුවෙන් උපදෙස් ලබා දුන්නා.

ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට සම්බන්ධ ව්‍යාජ තැරැව්කරුවන්ට එරෙහි අපරාධ විමර්ශන කොට්ඨාශයේ විමර්ෂණවල ප්‍රගතිය පිළිබඳව ද වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට කෝප් කමිටුවෙන් උපදෙස් ලබා දී තිබෙනවා.

දිගු කාලීන රක්ෂණ ව්‍යාපාරය සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය වෙන වෙනම සමාගම් දෙකකට වෙන් කිරිම සම්බන්ධව තීරණයක් කඩිනමින් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කෝප් කමිටුවෙන් නි‍ර්දේශ ලබා දුන් බව ද එම නිවේදනයේ සඳහන්.

තවද රක්ෂණ සංස්ථාවේ ඉදිරි වෙළඳ ප්‍රවර්ධන උපායමාර්ගික සැලසුම් පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මනින් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන විධායක නිලධාරි වෙත නිර්දේශ කර තිබෙනවා.

රක්ෂණාවරණ ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ නිසි පරිදි රක්ෂණ හිමියන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද කෝප් සභාපතිවරයා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

සංස්ථාවේ පූර්ණ මානව සම්පත් විගණනයක් සිදු කොට වාර්තාවක් මාස හයක් තුළ කමිටුවට ඉදිරිපත් කරන ලෙස රක්ෂණ සංස්ථා සභාපතිවරයාට කෝප් කමිටුවෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

එමෙන්ම ආයතනයේ ඉහළ කළමණාකාරිත්වයේ 93 දෙනෙක් සඳහා වැටුප් ගෙවීමට රුපියල් මිලියන 700ක් වැය කෙරෙන මැනේජ්මන්ට් සර්විස් රක්ෂණ සමාගම පිහිටුවා තිබීමේ අවශ්‍යතාව පිළිබඳ මතය දන්නවන්නැයි රක්ෂණ සංස්ථා සභාපතිවරයාට කෝප් කමිටුව යෝජනා කළා.

තවද ටෙන්ඩර් කැඳවීමකින් හා කැබිනට් අනුමතියකින් රක්ෂණ සංස්ථාව මගින් තනි පාර්ශවයකින් ලන්සු කැඳවා ඩොලර් 100ක ලන්සු වටිනාකමකට විදේශසේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධ අරාබි රටවල විදේශ ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අදාළ සංස්ථාවේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවෙන් රක්ෂණ සංස්ථා ප්‍රධාන විධායක නිලධාරීවරයාට නිර්දේශ කර තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes