General28 March 2023

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)

මෙරට සංගීත කලාව වෙනුවෙන් මහා මෙහෙවරක් සිදුකර, හෙළ සංගීතයේ අපූර්ව සටහන් තැබූ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි අද (28) ජීවන ගමනට සමු දුන්නා.

පුරා දශක 6 ක් ශ්‍රී ලාංකිකයන් පිනවූ මේ සොඳුරු ආචාර්යවරයා - ගාන්ධර්වයා, 1942 පෙබරවාරි 15 වනදා ගොතටුවේදී උපත ලැබුවා.

1947 දී වැඩිමහල් සොහොයුරිය වූ ඊඩා සමඟ ඔහු ගමේ උත්සවයක ගීයක් ගයමින් තම කලා චාරිකාව ආරම්භ කරනවා.

පාසල් කාලයේ දී දක්ෂ තබ්ලා වාදකයෙකු වූ ඔහු පසුව සංගීතය හැදෑරීම සඳහා භාත්කණ්ඩේ සරසවියට ඇතුලු වුණා.

1965 යළි දිවයිනට පැමිණ ගුවන් විදුලි ගායකයෙකු ලෙස සංගීත දිවියට නව පිටුවක් එක් කරන සනත් නන්දසිරි නම් මේ අපූර්ව ගාන්ධර්වයා රජයේ සේවයට එක්වන්නේ උහන මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙසයි.

පසුව කැළණිය සරසවියේ කථිකාචාර්යවරයෙකු බවට පත්වන ඔහු 1974 දී සංගීත් නිපුන් විභාගය අති දක්ෂ ලෙස සමත්වුණා.

ඇවිලිනු ගිනි දැල් ඇතුලු සොඳුරු ගී රැසක් කැටිකරගත් ඔහුගේ පළමු ගී තැටිය මෙරට රසිකයන් වැළඳගත්තේ අපූර්ව නිර්මාණ ගොන්නක් ලෙසින්.

1967 සැඩොල් කඳුළු චිත්‍රපටය වෙනුවෙන් ගී ගයමින් ඔහු සිය චිත්‍රපට ගී සංගීත පරිච්ඡේදය ආරම්භ කළා.

ඒකපුද්ගල ගී ප්‍රසංග කලාව ජනප්‍රිය වූ යුගය සනත් නන්දසිරි නම් මේ අපූර්ව කලාකරුවා ශක්තිමත් කරන්නේ ස්වර්ණ කුණ්ඩල ප්‍රසංගයෙන්.

මෑත ඉතිහාසයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියටත්, පසුව එහි කුලපති ධුරයටත් පත්වන සනත් නන්දසිරි සංගීතවේදියානන් අද මියයන තුරුම එම තනතුර හොබවනු ලැබුවා.

සනත් නන්දසිරි වනාහි මෙරට සංගීත කලාවේ විවිධාංගීකරණය වූ ගීත නිර්මාණකරණයේ නිපුණයෙක්. ප්‍රේමය, විරහව, ඇතුලු මානුෂිය හැඟීම් ඔහු අපූර්ව අයුරින් මෙරට රසික ජනතාවට එන්නත් කළා.

විටෙක ඔහු දහම් මග සහ ජීවිතයේ යථාර්ථය එකට කැටිකරගත් ගීත ගොන්නක් ලාංකේය කලාකෙතට දායාද කරනු ලැබුවා.

තමන්ට ම ආවේනික වූ අපූර්ව හඬකින් අනුකරණය සහ ආවේණිකත්වය පසෙක ලා සංගීත කලාකෙත පෝෂණයට ඔහු කළ මෙහෙවර වදනින් කැටිකළ නොහැකියි.

මේ අපූර්ව සංගීත ඇදුරුතුමන්ට අප නිවන් සුව පතන්නේ ඔහුගේ මහා වියෝගය පිළිබඳ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ශෝකය සමඟ මුසු කරමින්.

Related recommendation
Hiru TV News | Programmes