General10 November 2023

වහාම ක්‍රියාත්මක වන පරිදි ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි (වීඩියෝ)

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ රැස්වී මෙම තීරණය ගෙන ඇති අතර නැවත දැනුම් දෙන තුරු එය ක්‍රියාත්මක බවයි ඔවුන් නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි පූර්ණ සාමාජිකයෙකු වශයෙන් වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටින බවයි අයි.සී.සී.ය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කරගැනීමට හැකියාවක් නොමැතිවීමත්, එහි පාලනය, නියාමනය සහ පරිපාලනයට දේශපාලන මැදිහත් වීම් සිදුව තිබීමත් හේතුවෙන් මෙම තහනම පනවන බවද එහි තවදුරටත් සඳහන්.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පසුගිය 6 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් සත් පුද්ගල අන්තර් පාලන මණ්ඩලයක් පත් කරනු ලැබුවා.

එහෙත් එදිනම පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලය අධීක්ෂණය කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍යවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබුණා.

පසුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද අන්තර් පාලන මණ්ඩලයට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර, ඒ අනුව නව අන්තර් පාලන මණ්ඩලය දින 14 කට අත්හිටුවමින් නියෝගයක්ද නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 1981 වසරේ සිට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකු හෙවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් කිහිපයෙන් එකක්.

1921 දී පිහිටුවාගන්නා ලද ලංකා ක්‍රිකට් සංගමය 1948 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම වෙනස් කරන ලැබූ අතර, පසුව 2003 වසරේදී එය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙසින් ප්‍රතිනාමකරණය කරනු ලැබුවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීමේ කොන්දේසි එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරනු ලබන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කාර්තු රැස්වීම මේ මස 18 වනදා දක්වා 21 දක්වා ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වීමටද නියමිතයි.

අයි.සී.සී. ය ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති හේතු මොනවාදැයි දැනුම්දීමෙන් අනතුරුව ඊට අදාළ අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

Related recommendation
Hiru TV News | Programmes