General16 June 2024

බිරිඳ සමග නර්තනයේ යෙදුනාට ගෙල කපා මරා දමලා

කළුතර, ගමගොඩ ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී තරුණයෙකුගේ ගෙල කපා ඝාතනයක් සිදුකර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, ජන උදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙක්.

පොලිසිය සඳහන් කළේ මෙම සංගීත ප්‍රසංගයට පැමිණි තරුණයා, ඔහු සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේම සේවය කරන තවත් තරුණියක සමග එහිදී නර්තනයේ යෙදී ඇති අතර, එම තරුණියගේ සැමියා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

අනතුරුව ඇය සමග නර්තනයේ යෙදීම සම්බන්ධයෙන් උරණ වූ සැකකාර සැමියා විසින් සඟවාගෙන පැමිණි තියුණු ආයුධයකින් 20 හැවිරිදි මෙම තරුණයාගේ ගෙල එම ස්ථානයේදීම කපා ඝාතනයට ලක් කර තිබෙනවා.

සිදුවීමට සම්බන්ධ සැකකාර සැමියා සමග දින කිහිපයකට පෙර සිදු වූ පවුල් ආරවුලකින් අනතුරුව තරුණිය ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 25ක් වූ සැකකාර සැමියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes