General20 December 2025

ගණිතයට ලකුණු අඩුයි කියා සිසුවියකගේ අතට කෝටු පාර 160ක් ගැසූ ගුරුවරයාට ඇප

ගණිතය ප්‍රශ්ණ පත්‍රයට ලකුණු අඩුවු බව පවසා සිසුවියකගේ දෙඅත්වලට කෝටුවකින් 160 වාරයක් පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණන ලද උපකාරක පංති ගුරුවරයකු රුපියල් ලක්ෂ තුන බැගින්වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග ඊයේ (19) නියෝග කළා.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ පවන් අරුණානන්ද ප්‍රේමවර්ධන නමැති උපකාරක පංති ගුරුවරයෙක්.

මෙම ගුරුවරයා උපකාරක පංතියේ ගණිත විෂය උගන්වන විශ්ව විද්‍යාලයක දෙවන වසරේ සිසුවෙකු බවට පරීක්ෂණවලදි අනාවරණය වී තිබුණා.

මෙම ගුරුවරයා, තම දියණියගේ දෙඅත්වලට කෝටුවකින් 160 වාරයක් පහරදී ඇති බවට ඇයගේ පියා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව ගාල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

මෙම සිසුවිය මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ගාල්ල නගරයේ උපකාරක පංතියකදි මෙම පහරදීම සිදුව ඇති අතර පසුව සිසුවියගේ ඥාතීන් තමන්ටද පහර දුන් බව පවසා ගුරුවරයාද රෝහල් ගතව තිබුණා.

අ.පො.ස.සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවිය ගණිතය සඳහා මෙම උපකාරක පංතියට ගොස් ඇති අතර, එහිදි සැකකරු ගණිතය ප්‍රශ්ණ පත්‍රයක් ලබාදී තිබෙනවා. එහිදී එම ප්‍රශ්ණ පත්‍රයට මෙම සිසුවිය ලකුණු 32ක් අඩුවෙන් ලබාගෙන තිබු බවට වාර්තා වුණා.

පසුව සැකකරු එක් ලකුණකට එක් පහර බැගින් සිසුවියගේ දෙඅත්වලට 160 වාරයක් පහරදී ඇතැයි වාර්තා වෙනවා.

පසුව ඇයගේ දෙමව්පියන් ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.

ගාල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්.ජයවීරගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනෝදනි සමග සැරයන් ප්‍රියන්ත ( 54511) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළා .
Related recommendation
Hiru TV News | Programmes