General04 January 2026

සුරක්ෂිත මධ්‍යස්ථාන වූ පාසල් 100ක් හෙට විවෘත නොවේ

2026 වර්ෂයේ පළමු වාරය සඳහා රජයේ පාසැල්, රජයේ අනුමත පෞද්ගලික පාසැල් සහ පිරිවෙන් හෙට (05) ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් හානි වී හෝ තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන පාසැල් 100 කට ආසන්න ප්‍රමාණයක් හෙට විවෘත නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලු‍වැව සඳහන් කළේ.

එම පාසැල්වල අධ්‍යන කටයුතු සිදුකරන සිසුන්ට අදාළ පාසැල් විවෘත කරන තෙක් ආසන්නයේ පිහිටා ඇති පාසැලට යා හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එවැනි හැකියාවක් හෝ නොමැති පාසල් දරුවන් සිටින බවට වාර්තා වුවහොත් ඊට අදාළ විසදුම් මොනවාද යන්න සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලු‍වැව ප්‍රකාශ කළා.

මේ අතර, දිවයින පුරා හෙට ආරම්භ වීමට නියමිත පාසැල් අද දිනයේ පිරිසිදු කරන ආකාරය දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසැල් සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභහානි සලකා බලමින් පාසැල් පැවැත්වීමේ වේලාව දීර්ඝ කිරීමේ තීරණයද 2026 වර්ෂය තුළදී ක්‍රියාත්මක නොකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.
Related recommendation
Hiru TV News | Programmes