International30 January 2026

මීටර් 400ක ටැක්සි කුලිය රුපියල් 18,000ක්: රියදුරු අත්අඩංගුවට


ඉන්දියාවේ මුම්බායි නගරයේදී ඇමරිකානු සංචාරක කාන්තාවකගෙන් මීටර් 400ක ඉතා කෙටි දුරක් සඳහා ඉන්දීය රුපියල් 18,000ක (ඩොලර් 200ක) අතිවිශාල මුදලක් අය කළ කුලී රථ රියදුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේශ්රාජ් යාදව් නමැති 50 හැවිරිදි මෙම රියදුරා, පසුගිය දා(27) ඡත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට අසල පිහිටි හිල්ටන් හෝටලය දක්වා මෙම සංචාරක කාන්තාව රැගෙන ගොස් තිබුණා.

ආර්ජන්ටිනා අරියානෝ නමැති මෙම කාන්තාව තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීම සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කිරීමෙන් පසු පොලිසිය වහාම ක්‍රියාත්මක වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

එහිදී ඇය සඳහන් කළේ රියදුරා සහ තවත් පුද්ගලයෙකු තමා මුලින්ම නොදන්නා ස්ථානයකට රැගෙන ගොස් මෙම මුදල අය කළ බවයි.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ රියදුරා එම කාන්තාව විනාඩි 20ක් පුරා අන්ධේරි ඊස්ට් ප්‍රදේශයේ රවුම් කර, නැවතත් ඇය යා යුතුව තිබූ ස්ථානයටම ගෙනවිත් දමා ඇති බවයි.

MH 01 BD 5405 දරණ වාහනය පැදවූ මෙම රියදුරාව පැය තුනක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

මේ වන විට භාරතීය න්‍යාය සංහිතා (BNS) යටතේ මොහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

මෙම වංචාවට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා සෙවීම සඳහා දැනට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes