International03 February 2026

අමෙරිකාව ඉන්දීය භාණ්ඩ මත පනවා තිබූ බදු 18% දක්වා අඩු කරයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඓතිහාසික වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

මෙම නව ගිවිසුම යටතේ ඉන්දීය භාණ්ඩ සඳහා අමෙරිකාව පනවා තිබූ සියයට 50ක අධික ආනයන බදු ප්‍රමාණය සියයට 18 දක්වා පහත හෙළීමටයි තීරණය කර ඇත්තේ.

මෙම සහනය ලබා දීම සඳහා ඉන්දියාව ප්‍රධාන කොන්දේසි කිහිපයකට එකඟ වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟ වී තිබෙනවා.

රුසියාව වෙනුවට අමෙරිකාවෙන් සහ වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගැනීමට ඉන්දියාව පියවර ගනු ඇති.

මීට අමතරව අමෙරිකානු බලශක්ති (ගල්අඟුරු ඇතුළුව), තාක්ෂණික සහ කෘෂිකාර්මික නිෂ්පාදන වෙනුවෙන් ඩොලර් බිලියන 500කට අධික මුදලක් වැය කිරීමට ඉන්දියාව පොරොන්දු වී තිබෙනවා.

අමෙරිකානු භාණ්ඩ සඳහා ඉන්දියාව පනවා ඇති බදු සහ අනෙකුත් වෙළෙඳ බාධක "ශුන්‍ය" දක්වා අඩු කිරීමටද ඉන්දීය රජය එකඟ වී ඇති බව සඳහන්.

මීට පෙර රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට ඉන්දියාව ගත් තීරණය හේතුවෙන් අමෙරිකාව විසින් ඉන්දීය භාණ්ඩ මත සියයට 25ක දඬුවම් බද්දක් පනවා තිබුණා.

එය සාමාන්‍ය සියයට 25ක බද්දට එකතු වීමෙන් මුළු බදු ප්‍රතිශතය සියයට 50 දක්වා ඉහළ ගොස් තිබූ අතර, නව ගිවිසුම සමග එම දඬුවම් බදු ඉවත් කෙරෙනවා.

මෙම නිවේදනයත් සමග අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති ඉන්දීය සමාගම්වල කොටස් මිල ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන්ම Infosys (4.3%), Wipro (6.8%) සහ HDFC Bank (4.4%) වැනි ආයතන විශාල ප්‍රගතියක් පෙන්වා ඇති බවටයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත්, අමෙරිකානු කුඩා ව්‍යාපාරික කණ්ඩායම් පෙන්වා දෙන්නේ, 2024 වසරේ පැවති සියයට 2 - සියයට 3 බදු අනුපාතයට සාපේක්ෂව මෙම සියයට 18ක බද්ද තවමත් ඉහළ මට්ටමක පවතින බවයි.

මෙම ගිවිසුම රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට එල්ල කරන ආර්ථික පීඩනය තවදුරටත් දැඩි කරන්නක් වනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes