General24 February 2026

නිවෙසක ස්ලැබ් එක මත වගා කළ ගංජා පැල 39ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් හබරකඩින් අල්ලයි

අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ නිවසක කොන්ක්‍රීට් වහලය (ස්ලැබ්) මත ඉතා සූක්ෂ්ම ලෙස වගා කර තිබූ ගංජා පැල තොගයක් සහ වියළි ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හබරකඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, නිවසක කොන්ක්‍රීට් වහලය මත බඳුන්වල වගා කර තිබූ ගංජා පැල 39ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

මීට අමතරව එම ස්ථානයේම තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි ගංජා කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 90ක ප්‍රමාණයක් ද භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 සහ 43 යන වයස්වල පසුවන හබරකඩ ප්‍රදේශයේම පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes