General19 June 2026

“ලංකාවත් දැන් එංගලන්තෙ වගේ.. කියපු වෙලාවටම බස් එක ආවාම කඳුළු ආවා” - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

මෙරට පොදු ප්‍රවාහන සේවය ඩිජිටල්කරණය කරමින් ජංගම යෙදවුම් (Apps) හරහා බස් රථ නියමිත වේලාවට ධාවනය කරවීමේ තාක්ෂණික වෙනස පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් සතුට පළ කර තිබෙනවා.

සිය ළමා කාලය සිහිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මීට වසර තිස් දෙකකට පෙර එනම් 1994 වසරේදී තමන් වයස අවුරුදු 10ක්ව තිබියදී බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් (Liverpool) නගරයේ වසරක් ජීවත් වූ බවයි.

එරට පැවති ක්‍රමවත් පොදු ප්‍රවාහන පද්ධතිය තුළ නියමිත කාලසටහනකට අනුව බස් රථ පැමිණීම තමන් එදා සමීපව අත්විඳි බව ඔහු පවසනවා.

මෙම සතියේ තමන් හන්දියට ගිය අවස්ථාවේදී, ජංගම යෙදවුමෙහි (App) සඳහන් කර තිබූ වේලාවටම බස් රථය පැමිණි බවත්, එය දැකීමෙන් තමන්ට මහත් සතුටක් මෙන්ම කඳුළු ඉනූ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

"සතුටුයි, ගොඩක් සතුටුයි.. කඳුළුත් එනවා.. අපි හරිම පොඩි මිනිස්සු.. අපිට පොඩිම පොඩි හීනම විතරයි තිබ්බේ.. ඒ මහා සමාජය වෙනුවෙන් දැක්ක හීන.." යනුවෙනුයි ඔහු සිය සටහනෙහි හැඟීම්බරව දක්වා තිබෙන්නේ.

මහා දැවැන්ත මිනිසුන්ට මෙරට පාලනය කරගන්නට බැරි වූ දේ, පොඩි මිනිසුන්ගේ පොඩි හීන එකින් එක යථාර්ථයක් කරමින්, අරගලයට දායක වූ මිලියන සංඛ්‍යාත ජනතාව බලාපොරොත්තු වූ වෙනස උදා කරන බව ද හෙතෙම කියා සිටිනවා.

"පොදු ප්‍රවාහනය කියන්නේ රටක හදවත, ජීවනාලිය" බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, මීළඟ අනාගත පරපුර වෙනුවෙන් එවැනි දියුණු රටක් අනිවාර්යයෙන්ම ගොඩනඟන බවට ද සිය සටහනින් සහතික වී තිබෙනවා.

''අපේ ජීවිත කාලෙ අපේ රටේ දකින්න.. විදින්න අසා දේවල් පොඩි කාලේ ඉදන් තිබ්බා..
1994 මම Liverpool නගරේ වසරක් ජීවත් උනා මට වයස අවුරුදු 10යි.. අපේ පාරේ Bus Halt එකට හරියට වෙලාවට බස් එක එනවා, ඒකෙ schedule එක අම්ම දොරේ ගහල තිබ්බා.. ඔව් වෙලාවට කිරිත් එනවා කුණු ලොරියත් එනවා
මේ සතියේ මම හන්දියට වෙලාවට ගියා, App එකේ කියපු වෙලාවට බස් එක ආව..
සතුටුයි, ගොඩක් සතුටුයි.. කඳුළුත් එනවා..අපි හරිම පොඩි මිනිස්සු.. අපිට පොඩිම පොඩි හීනම විතරයි තිබ්බේ.. ඒ මහා සමාජය වෙනුවෙන් දැක්ක හීන..
මහා දැවැන්ත මිනිස්සුන්ට අපේ රට පාලනය කරල කරගන්න බැරි වෙච්ච පොඩි මිනිසුන්ගේ පොඩි හීන අපි එක එක යතාර්තයක් කරන්නම්.
අරගලයට දායක වූ මිලියන ගනනක් ජනතාව ඒ වෙනස කලා
පොදු ප්‍රවාහන කියන්නෙ රටක හදවත.. ජීවනාලිය.. මගේ දරුවන්ට උන්ගේ දරුවන්ට ඒ රට අපි හදල දෙමු..''
Related recommendation
Hiru TV News | Programmes