General19 June 2026

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්‍ෂණ සාක්ෂි කැඳවා අවසන් බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට ලබන 8 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස අද (19) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නොතිසි නිකුත් කළා.

සිද්ධියට අදාලව 27 වන සාක්ෂිකරුවන කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇඟිලි සටහන් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂක කුමුදු සෙනෙවිරත්න සහ 31 වන සාක්ෂිකරුවන කොළඹ දිසා අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරීක්ෂක මහේෂ් මධුසංඛ අද අධිකරණයේදී සාක්ෂි ලබාදෙනු ලැබුවා.

සිද්ධියට අදාල සාක්ෂි ලබාදීම අදින් අවසන් බැවින් මරණ පරීක්ෂණයට අදාල නියෝගය ලබා දීමට අවශ්‍ය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ රස පරීක්‍ෂකවරයාට මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් නොතිසි නිකුත් කළා.

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා මිය ගිය කාමරයේ තිබී ඔහුගේ කිසිදු ඇඟිලි සලකුණු සටහනක් සොයා ගැනීමට නොහැකි වූ බව කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇඟිලි සටහන් කාර්යාලයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක කුමුදු සෙනෙවිරත්න අද අධිකරණයට සාක්ෂි ලබා දෙමින් පවසා සිටියා.

පුද්ගලයෙකුගේ ඇඟිලි සටහන් හඳුනාගැනීමට වැටි ලක්ෂණ දොළහක් අවශ්‍ය බවත් එම වැටි ලක්ෂණ නොමැති බැවින් සොයා ගන්නා ලද ඇඟිලි සටහන්ද සුදුසු නොවන සටහන් බවයි ඔහු අධිකරණයට සාක්ෂි ලබා දෙමින් දන්වා සිටියේ.

සිද්ධියට අදාලව 27 වන සාක්ෂිකරුවන කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇඟිලි සටහන් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂක කුමුදු සෙනෙවිරත්න අධිකරණයට මෙලෙස සාක්ෂි ලබා දුන්නා.

පොලිසිය= මෙම සිද්ධියට අදාලව ඔබ කුමන රාජකාරියක නිරත වූවාද?

සාක්ෂිකරු= කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇඟිලි සටහන් කොට්ඨාශයට අනුයුක්තව මම සිද්ධියට අදාලව ඇඟිලි
සටහන් පරීක්ෂාව සිදු කළා.

පොලිසිය= ඔබට ඒ සම්බන්ධයෙන් සුදුසුකම් තිබෙනවාද?

සාක්ෂිකරු= දෙස් විදෙස්වල පුහුණුවලත් ඇඟිලි සටහන් රෙජිස්ට්‍රාර්වරයාගේ මාස තුනක මූලික පුහුණුවෙන් පසුව වසර තිස්තුනක් ඇඟිලි සටහන් කිරීමේ සේවය කරනවා. ඇමරිකාවේ FBI ආයතනය විසින් අදෘශ්‍යමාන සටහන් වර්ධනය කිරීමේ පාඨමාලාවද, ඉන්දියාවේ නවදිල්ලියේ ඇඟිලි සටහන් සම්බන්ධයෙන් පාඨමාලාවක්ද හදාරා තිබෙනවා.

පොලිසිය= මෙම සිද්ධිය වන්නේ කවදාද ඔබ එම නිවසට යන්නේ කීයට විතරද කාගේ අනුදැනුමක් ඇතිවද?

සාක්ෂිකරු= 2026/5/8 වන දින අපරාධ වාර්තා කොට්ඨාශයේ ස්ථානාධිපති විසින් කරන ලද දැනුම් දීමකට අනුව උදෑසන නවයයි තිහට වගේ මහල් තුනකින් යුත් එම නිවසට ගියා. පළමු මහලේ ඇතුල් වන ස්ථානයේ කාමරයක පුද්ගලයෙක් මියගොස් ඇති බව දැනගන්න ලැබුණා. එම ස්ථානයේ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සිටියා. මම ඇඟිලි, සටහන් පරීක්ෂා කළා.

පොලිසිය= එම සටහන්වලින් මොනවද දකින්න ලැබුණේ.

සාක්ෂිකරු= ඇඳ අසලට සම්බන්ධ කර තිබූ කුඩා මේසේ වතුර බොන බෝතලේ සහ වීදුරුවේ සටහන් තිබී සොයා ගත්තා. එහි ප්ලාස්ටික් වතුර බෝතලේ සටහන් දෙකක්ද, එම කාමරයේ නාන කාමරය පැත්තට තිබූ බිත්ති අල්මාරිය අසල පාද සටහන් දෙකක්ද, ඇඳට උඩින් බිත්තියේ තිබු ඇලුමිනියම් තහඩුවක සටහන් දෙකක්ද සොයාගත්තා. ඒ සොයාගන්නා ලද සටහන් මා විසින් කෙටි අත්සන, දිනය සහ අපරාධ වාර්තා කොට්ඨාශයේ ඡායාරූප ශිල්පී පොලිස් සැරයන්වරයා ලවා ඡායාරූප ගත කර එම ඡායාරූපවල නිවැරදිතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇඟිලි සටහන් රෙජිස්ට්‍රාර්වරයාට භාර දුන්නා.

පොලිසිය= එහිදී සාක්ෂිකරුට කාගේ ඇඟිලි සටහන්ද දැක ගන්න ලැබුණේ.

සාක්ෂිකරු= අපරාධයෙන් සොයා ගන්නා ලද සියලුම සටහන් අතුරින් අතුරු සටහන් වයි.ඒ. ද සිල්වා යන අයගේ අතුරු සටහන් සමඟ සැසදෙන බවයි.මෙම අපරාධ සම්බන්ධයෙන් ඇඟිලි සටහන් කොළඹ අපරාධ කොට්ඨාශයට යොමු කර තිබෙනවා.

මෘත ශරීරය තිබූ කාමරය අරවින්ද ද සිල්වාගේ පුතා වන වයි ඒ ද සිල්වාගේ කාමරය බවයි දැන ගැනීමට ලැබුණේ. වෙනත් ආගන්තුක කිසිම අයෙකුගේ සලකුණු නොතිබූ බවද දක්නට ලැබුණා.

අධිකරණය= මරණකරුගේ ඇඟිලි සලකුණු හමුවුණා ද?

සාක්ෂිකරු= වයි ඒ ද සිල්වා නමැති අයගේ සලකුණු පමණයි හමුවුණේ.

අධිකරණය : ඔහු බාලවයස්කාර පුද්ගලයෙක්ද?

සාක්ෂිකරු: නැත ස්වාමීනී අවුරුදු දහතුනක් දාහතක් අතර අයෙක්.

අධිකරණය: කපිල නමැත්තාගේ බෙල්ලේ තිබුණයි කියන පටියේද ඇඟිලි සලකුණු දක්නට ලැබුණේ නැද්ද?

සාක්ෂිකරු= නැත ස්වාමීනි දාඩිය වැනි දේ නිසා ඇඟිලි සලකුණු වර්ධනයක් දක්නට ලැබෙන්නේ නැහැ.

අධිකරණය= මරණකරුගේ ශරීරයේ කොතැනකවත් ඇඟිලි සලකුණු තිබුනේ නැද්ද?

සාක්ෂිකරු= නැත ස්වාමීනි.

අධිකරණය= මෙම ඇඟිලි සලකුණු සටහන් වූ වේලාවක් කවද්ද කොච්චර කාලයක් තිබුණාද යන්න අනාවරණය කර ගැනීමට හැකි වෙනවාද?

සාක්ෂිකරු: එලෙස කිරීමට හැකියාවක් නැහැ ස්වාමීනි.

ඉන් අනතුරුව 31 වන සාක්ෂිකරු අධිකරණයට සාක්ෂි ලබා දෙනු ලැබුවා.

ඔහු සඳහන් කර සිටියේ සිද්ධියට අදාලව සීසීටීවී දර්ශන ලබා ගැනීම සම්බන්ධයෙන් රාජකාරියේ නියැලුණු බවත් සීසීටීවී කොට්ඨාශය භාර සම්පත් නිලධාරියාට සහාය ලබා දුන් බවයි.

තවද සීසිටීවී පද්ධතියට අයත් ඩීවීආර් යන්ත්‍රය කපිල චන්ද්‍රසේන මිය ගිය නිවසට ඇතුලු වන දකුණු පස කාමරයක් ඇතුලත තිබූ බවත් මුරපදය අරවින්ද ද සිල්වාගේ රියදුරකු විසින් ලබා දුන් බවත් අධිකරණයට දන්වා සිටියා.

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් 27 වන සැකකරු නැවත සාක්ෂි කූඩුවට කැඳවනු ලැබුවා.

අධිකරණය= ඇඟිලි සටහන් හතරක් තිබ්බා කියලා කිව්වා. ප්ලාස්ටික් බෝතලයේ එකක් තිබ්බා. නාන කාමරයේ පැත්තෙ බිත්ති අල්මාරියේ කකුල් සටහනක් තිබ්බා. ඒ සියලු සටහන් වයි ඒ සිල්වා කියන අයගේද?
ඉතිරි සටහන් සුදුසු නැති සටහන්ද?

සාක්ෂිකරු: ස්වාමීනි ප්ලාස්ටික් බෝතලේ සහ විදුරු කෝප්පයේ සටහන් කිසිම ගැලපීමක් නැහැ. බිත්ති අල්මාරිය ළඟ තිබූ පාද සටහන්. නාන කාමරයේ පැත්තේ තිබු සටහන් වයි.ඒ සිල්වා අයගේ. පුද්ගලයෙකුගේ ඇඟිලි සටහන් හඳුනාගැනීමට වැටි ලක්ෂණ දොළහක් අවශ්‍යයි. එම වැටි ලක්ෂණ නොමැති බැවින් සුදුසු නොවන සටහන් බව දක්වා තිබෙනවා.


සිද්ධියට අදාළව නඩුව ලබන 8 වන දින නැවත කැඳවීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes