General22 June 2026

“සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’’ එළිදැක්වේ

ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සෑම වසරකම නම් කරනු ලබන ජූනි "ජාතික පෝෂණ මාසය" වෙනුවෙන් සංවිධානය කළ 2026 වසරේ සැමරුම් වැඩසටහන අද (22) කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය’’ නිල වශයෙන් එළිදැක්වීම සිදු කෙරුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ තාක්ෂණික දායකත්වය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සම්පාදිත මෙම මාර්ගෝපදේශයේ ප්‍රධාන අරමුණ වන්නේ දරුවන්ට පාසල් ආපනශාලා තුළින් නිසි පෝෂණයෙන් යුතු, සෞඛ්‍යාරක්ෂිත සහ දැරිය හැකි මිලකට ආහාර සපයන ‘සිසු හිතකාමී පාසල් ආපනශාලා’ නිර්මාණය කිරීම බවයි ‍එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම මාර්ගෝපදේශය ප්‍රධාන අරමුණු 5කි. නිසි පෝෂණයෙන් යුතු, බෝ නොවන රෝග අවදානමෙන් මිදුණු නිරෝගී පාසල් දරු පරපුරක් රටට දායාද කිරීම, පාසල් සිසුන්ට රසවත්, පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයීම, පාසල් ළමුන් තුළ නිවැරදි ආහාර පුරුදු හා හැසිරීම් ඇති කිරීම සඳහා නිවැරදි ආකල්ප වර්ධනය කිරීම, මෙම නිවැරදි ආහාර පුරුදු පාසල් දරුවා හරහා සමාජගත කිරීම සහ ආපනශාලා නිසි පරිදි පවත්වාගෙන යාම සහ එහි සනීපාරක්ෂාව සහතික කිරීම මෙහි ඇති අරමුණු වෙයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, මෙරට වේගයෙන් වර්ධනය වන පෝෂණ ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීම සඳහා දැඩි තීරණ හා පියවරයන්ට එළඹිය යුතු බවයි.

පසුගිය කාලයේ ආහාර රෙගුලාසි නිකුත් කළ විට පාසල්වල විවිධ ව්‍යාපෘතිවලට අනුග්‍රහය දැක්වූ සමාගම් ඉන් වැළකී සිටි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ව්‍යාපෘති වියදම් පියවා ගැනීමට දරුවන්ට හානිකර ආහාර දිගටම දෙනවාද, නැතහොත් දශක කිහිපයකින් රටේ සංවර්ධනයට දායක වන දරුවන්ගේ පෝෂණය ගැන සිතනවාද යන්න තීරණය කළ යුතු බව අවධාරණය කළා.

මෙම උත්සව අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ සහ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රාදේශීය උපදේශක වෛද්‍ය ඇන්ජලා ද සිල්වා, යුනිසෙෆ් (UNICEF) මෙරට නියෝජිත එමා බ්‍රිග්හැම්, පෝෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය මොනිකා විඡේරත්න, ප්‍රජා වෛද්‍ය අරුන්දිකා සේනාරත්න සහ වෛද්‍ය මනෝජි ගමගේ සහභාගී වුණා.
Related recommendation
Hiru TV News | Programmes