General22 June 2026

ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්

නිරිතදිග මෝසම් සමය හේතුවෙන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

මෙහිදී ගනු ලැබූ තීරණ අනුව, කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම එළැඹෙන ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.

මේ වන විට පාසල්, කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බැවින්, එම ස්ථාන ආවරණය වන පරිදි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී දැඩි ලෙස අවධාරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ඩෙංගු මර්දන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් විශේෂ අධීක්ෂණ ඒකකයක් පිහිටුවීමටත්, නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටත් මෙහිදී තීරණය වූ බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ප්‍රධානී එස්. පී. සී. සුගීෂ්වර සහභාගි වුණා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික බෝවන රෝග විද්‍යායතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කොළඹ මහනගර සභාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes