General23 June 2026

කෝරළේඉම සමූපාකාර බැංකුවේ කෝටි ගණනක රන් බඩු කොල්ලකරුවන් අරගෙන ගිහින් - පොලිසිය

සොරුන් විසින් අද (23) අලුයම කොල්ලකන ලද හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ කෝරළේඉම හන්දියේ පිහිටි සමූපාකාර ග්‍රාමීය බැංකුවේ රුපියල් කෝටි ගණනක රත්‍රන් සොර‍ාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසනවා.

මෙම සොරුන් බැංකුවේ ආරක්ෂක නිලධාරියා බැඳ දමා, බැංකුව බිඳ එහි තිබූ කෝටි ගණනක රන් බඩු සහ දේපළ එලෙස සොරාගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

විමර්ශන නිලධාරීන් සැක කරන්නේ බැංකුවේ තිබූ රුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් රන් බඩු අතරින් කොටසක් මෙලෙස මංකොල්ලකරුවන් විසින් රැගෙන යන්නට ඇති බවයි.

පොලිස් විමර්ශනවලට අනුව අද (23) අලුයම 1.00 ත් 5.00 ත් අතර කාලය තුළ පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම මංකොල්ලය සිදු කර තිබෙනවා.

බැංකුව පිටුපස මුරකුටියේ සිටි ආරක්ෂක නිලධාරියාගේ අත් පා සහ කට රෙදි පටිවලින් ගැටගසා ඔහුව නාන කාමරයකට දමා සිරකර ඇති සොරුන්, පසුව නාන කාමරයේ වා කවුළුව බිඳ බැංකුව තුළට ඇතුළු වී තිබෙනවා.

මෙම බැංකුව තුළ සේප්පු දෙකක් සහ ලාච්චු විස්සක් පමණ තිබී ඇති අතර, ඉන් එක ලාච්චුවක තිබූ රන් බඩු සම්පූර්ණයෙන්ම සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

බැංකුව සතුව තිබූ කෝටි අටක පමණ සමස්ත රන් බඩු තොගයෙන් අස්ථානගත වූ නිශ්චිත රන් බඩු ප්‍රමාණය සහ දේපළවල වටිනාකම මෙතෙක් නිල වශයෙන් ගණනය කර නොමැති බව ද පොලිසිය සඳහන් කරනවා.

මංකොල්ලකරුවන් විසින් බැංකුවේ ආරක්ෂිත සී.සී.ටී.වී. (CCTV) කැමරා පද්ධතියේ ඩී.වී.ඩී. (DVD) යන්ත්‍ර ද ගලවාගෙන ගොස් ඇති අතර, සේප්පු බිඳීම සඳහා යකඩ කපන ග්‍රයින්ඩරයක් (Grinder) භාවිත කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සිද්ධියෙන් පසු සිරකර සිටි ආරක්ෂක නිලධාරියා කෑගැසීමේ ශබ්දය ඇසී, මාර්ගයේ විරුද්ධ පැත්තේ පිහිටි වෙළඳසැලක පුද්ගලයකු පැමිණ සෝදිසි කිරීමේදී මෙම මංකොල්ලය පිළිබඳව පළමුවෙන් හෙළි වී තිබූ බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරන අතර, ස්ථානීය අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (SOCO) සහ ඇඟිලි සලකුණු නිලධාරීන් කැඳවා අදාළ ස්ථානයේ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes