General24 June 2026

රිය අනතුරුවලින් පදිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට

කඩවත සහ පුත්තලම පොලිස් වසම් තුළ ඊයේ (23) සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

කඩවත පොලිස් වසමට අයත් කඩවත බස් නැවතුම්පළ අසලදී ඊයේ (23) බස් රථයක් බස් නැවතුම්පළ දෙසට ධාවනය කිරීමේදී පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

මේ අතර, ඊයේ (23) රාත්‍රීයේදී පුත්තලම - කුරුණෑගල මාර්ගයේ, පුත්තලම නගරය ආසන්නයේදී තවත් මාරක රිය අනතුරක් වාර්තා වුණා.

කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක්, මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම අනතුරින් ලොරි රථයේ රියැදුරු ද තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි පුත්තලම පොලිසිය පැවසුවේ.
Related recommendation
Hiru TV News | Programmes