General24 June 2026

බෝ නොවන රෝග පාලනයට උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවය ලබාගැනීමට නව වැඩසටහනක්

මෙරට බෝ නොවන රෝග පාලනයේ දී අදාළ රෝගීන්ට තමා භාවිතා කරන ඖෂධ පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමටත්, වෛද්‍යවරයා අපේක්ෂා කරන සම්පුර්ණ ප්‍රතිඵලය ලබා ගැනීමටත් ඖෂධවේදී උපාධිධාරීන්ගේ දැනුම හා කුසලතා දායක කර ගැනීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටළු කිහිපයකට විසඳුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය' මඟින් රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේ දී, තමා භාවිත කරන ඖෂධ වට්ටෝරුව පිළිබඳව විධිමත් තොරතුරු රෝගීන් වෙත ලබා දීම සඳහා උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවාව ඉදිරියේදී යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණා.

මහජන මුදල් වැයකොට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහි කරන ඖෂධවේදී උපාධිධාරීන්ගේ දැනුම හා කුසලතා ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව හරහා මෙරට ජනතාව වෙත ලබා දීමට මෙයින් සුවිශේෂී අවස්ථාවක් සැලසෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

රෝගීන් තමා භාවිතා කරන ඖෂධ පිළිබඳව මනා අවබෝධයකින් පසු වීම තුළින් ඖෂධ මඟින් සිදුවිය හැකි අතුරු ආබාධ වළක්වා ගැනීමට මෙන්ම, එම ඖෂධ නිර්දේශ කිරීම තුළින් වෛද්‍යවරයා අපේක්ෂා කරන සම්පූර්ණ සුවය රෝගියා වෙත ළඟා කර දීමට ද මෙමඟින් හැකියාව ලැබෙන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමික එච්. ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, යූ.ඒ.එස්.එච්. සිසිර කුමාර, ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ, රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න සහ එහි ප්‍රධාන ලේකම් චමීර කල්හාර ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes