General24 June 2026

පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් 12 ක් අනිද්දා සිට වැසේ:

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දොළහක් (12) අනිද්දා (26) සිට ලබන ජූලි මස 02 වැනිදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පොසොන් සතිය තුළ අනුරාධපුරයට පැමිණෙන මහා ජනතාවගේ සහ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කැඳවන පොලිස් නිලධාරීන්ගේ තාවකාලික නවාතැන් පහසුකම් සලසා දීම සඳහා මෙම පාසල් මෙලෙස වසා තැබෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරනවා.

මේ පිළිබඳව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලිඛිතව අනුමැතිය ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකාව, විවේකානන්ද, වලිසිංහ හරිශ්චනද්‍ර, මහා බෝධි, දේවානම්පියතිස්ස , නිවන්තක චේතිය සහ තන්තිරිමලය විමල ඤාණ විද්‍යාලය යන පාසල් මෙන්ම ගලෙන් බිඳුණු වැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලයේ මහා විදුහල, කම්මලක්කුලම විද්‍යාලය සහ මිහින්තලය කනිෂ්ඨ විද්‍යාලයද මේ සතිය පුරා වසා තැබේ.

මේ අතර, පොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුර, තන්තිරිමලය සහ මිහින්තලය යන පූජා භූමි ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි සියලුම සුරාසල් සතියක කාලයක් වසා තැබීමට පියවර ගෙන ඇත.

එමෙන්ම, උත්සව සමය තුළ දිස්ත්‍රික්කය පුරා පිහිටි සියලුම මස්කඩ සහ මාළු අලෙවිසල් ද වසා තැබීමට කටයුතු යොදා ඇති බව පොසොන් කමිටුව නිවේදනය කර සිටී.
Related recommendation
Hiru TV News | Programmes