General24 June 2026

වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක පවතින උග්‍ර වන අලි තර්ජනයට ස්ථිර විසඳුමක් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් අද (24) දඹුල්ල - කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ ‘දෙකේ කණුව’ ප්‍රදේශයේදී මාර්ග වසා දමමින් දැවැන්ත විරෝධතාවයක නිරත වුණා.

මාස ගණනාවක සිට කණ්ඩලම, ඇරැවුල, සිසිරවත්ත, අතුපාරයාය සහ පහලවැව ආදී ප්‍රදේශවල රාත්‍රී කාලයේදී වන අලින් ගම්මාන හා නගරයට කඩා වැදී වගා බෝග සහ නිවාස විනාශ කරමින් සිටින බව ජනතාව පවසනවා.

මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද ඊට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස මාර්ග වසා දැමීමට ජනතාව පියවර ගෙන තිබුණා.

මෙම හදිසි විරෝධතාවය හේතුවෙන් දඹුල්ල - කණ්ඩලම - වෑවලවැව දිවෙන ප්‍රධාන මාර්ගයේ මෙන්ම දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ ද වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා.

විරෝධතාවයේ නිරත වූ ජනතාව කියා සිටියේ, ප්‍රදේශයට යෝජනා වී ඇති අලි වැට නැවත කඩිනමින් ලබා දෙන ලෙසත්, වන අලින් විසින් සිදුකළ දේපළ හානි සඳහා නිසි වන්දි ලබා දෙන ලෙසත් යන්නයි.

එමෙන්ම වන අලි තර්ජනය හේතුවෙන් දැනට නොසන්සුන් වී ඇති තමන්ගේ ජන ජීවිතවලට වහාම ආරක්ෂාව සලසා දිය යුතු බව ද ඔවුහු අවධාරණය කළා.

උද්ඝෝෂණය ආරම්භ වී පැයකට පමණ අනතුරුව දඹුල්ල නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී මහතා සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කළා.

එහිදී අදහස් දැක්වූ නගරාධිපති වසන්ත කුමාර රාජමන්ත්‍රී සඳහන් කළේ, ලබන සිකුරාදා (26 වන දින) මෙයට ස්ථිර විසඳුමක් ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.

බලධාරීන්ගේ එම පොරොන්දුවත් සමඟ, ලබන 26 වන දින සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් විරෝධතාව තාවකාලිකව අත්හිටුවීමට ජනතාව තීරණය කළා.
Related recommendation
Hiru TV News | Programmes