General25 June 2026

කෘෂිකර්මය අමු පිස්සෙකුට දීලා.. එයා යාළුවෝ එක්ක ආතල් ගන්නවා.. - දේශයේ ගොවි හඬ සංවිධානය

දේශීය අල ගොවියා ශක්තිමත් නොකර, ගොවියාගේ ගැටළු විසඳීමට ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට දේශපාලන හිතවතුන්ගේ මඩිය තර කර ඒ ඔස්සේ දේශපාලකයන් කොමිස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් මේවන විට ක්‍රියාත්මක බව දේශයේ ගොවි හඩ සංවිධානය පවසනවා.

නුවරඑළියේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංවිධානය සඳහන් කළේ, උද්ගතව ඇති ගැටලු වලට විසඳුම් ඉල්ලා රටපුරා අල ගොවීන් එක මිටට කොළඹට ගෙන්වා උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට තමන් සූදානම් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති තරිඳු රත්නායක;.

"පෙර පැවති රජයන්වලට වසර ගණනාවක් පුරාවට හා වර්තමාන රජයට වසර දෙකක කාලයක් පුරාවට දේශීය අල ගොවියා පත්ව ඇති දැඩි පීඩාකාරි තත්ත්වය හා පාකිස්ථානයෙන් හා තවත් විදේශීය රටවල් කිහිපයකින් ආනයනය කරන ලද අර්තාපල් මෙරටට ගෙන්වීමෙන් ඇතිවන තත්ත්වය පවසන නමුත් වග කිව යුතු රජයක් හැටියට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන විට අරන් නැහැ.

රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය භාරදීලා තියෙන්නේ අමු පිස්සෙකුට සහ ඩිමෙන්සියා රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකුට.

ඔහු හැමදාම යහළුවොත් එක්ක එකතු වෙලා ආතල් අරගෙන ඉන්නවා හැරෙන්නට ගොවියා වෙනුවෙන් හා කෘෂිකාර්මික සංවර්ධයන වෙනුවෙන් කරපු දෙයක් නෑ.

කෘෂිකර්මය ක්ෂේත්‍රය ගැන පළපුරුද්දක් තියෙන පුද්ගලයෙකු රටේ ජනාධිපතිවෙලා ඉන්න විට කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න පුද්ගලයා තමන්ගේ ක්ෂේත්‍රයම විනාශ කරන්න උත්සාහ කරනවානම් එක්කෝ ඒ පුද්ගලයාව රජයෙන් ඉවත් කරන්න ඕන එහෙමත් නැත්නම් තමන්ට ඒ ගැන අවබෝධයක් අරගෙන වැඩ කරන්න බැරි නම් තමන් ඉවත් වෙලා යන්න ඕන.

මේ දෙකම නැතුව ගොවීන්ගේ දේශීය ගොවියාගේ ආර්ථිකය විනාශ කරලා ගොවියාගේ බඩට ගහන්න කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව අපි පෙළගැහෙන්නන ලෑස්තියි.

රජයට අවශ්‍ය අපිට කියලා උද්ඝෝෂණයක් කරවලා මේ වැඩේ විසඳ ගන්න නම් අපි ඒකටත් මේ දවස්වල කටයුතු කරනවා.

ඉදිරියේදී ප්‍රාදේශීය දේශපාලන නායක යනුත් උදලු මිටින් කන්න ලෑස්ති වෙලා ඉන්න මොකද ගොවි ජනතාවට දැන් එපාවටම එපා වෙලාන්නේ.

ඔය කොළඹ ඉඳන් කතා කරන ලාල් කාන්ත සහ නාමල් කරුණාරත්න ගමට බැහැල බලන්න එතකොට වෙන දේ හිතාගන්න බැරි වෙයි.

දේශී ගොවියාගේ ගැටළු විසඳා ගැනීමේ මූලික අධියරක් වශයෙන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට උද්ඝෝෂණ සංවිධානය කරනවා. ඒකෙන් එක් උද්ඝෝෂණයක් ජනාධිපතිවරයාගේ ප්‍රදේශයේ තඹුත්තේගම දී සිදුවෙනවා.

ඉදිරියේදී මෙවන් උද්ඝෝෂණ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන අන්දමින් ක්‍රියාත්මක කරලා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරන ගොවි මහතුන් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශය වටලා දැවැන්ත උද්ඝෝෂණයක් දේශයේ ගොවි හඬ සංවිධානය විසින් සංවිධානය කරනවා."
Related recommendation
Hiru TV News | Programmes