General25 June 2026

මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසේ නඩුව ජූලි 28 දක්වා කල් යයි

අයුතු අවහිරය, පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි මස 28 වනදා දක්වා කල් තැබීමට බදුල්ල මහාධිකරණය අද (28) නියෝග කළා.

මෙම නඩුව බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ රියැදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා අදාළ චෝදනා හතරටම වැරදිකරුවන් බවට තීරණය කර තිබුණා.

එමෙන්ම ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක නමැති විත්තිකරු චෝදනා තුනකට වැරදිකරු බවටද විනිසුරුවරයා තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම විත්තිකරුවන් අතරින් රියදුරු බන්දුල රත්නායක නමැති අය මේ වන විට මියගොස් ඇති බවද අද (25) නඩු විභාගයේදී අනාවරණය වුණා.

නඩු විභාගයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, 2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල් වී ඇතැයි සඳහන්.

තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මඟ හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජනය කර පහරදී තුවාල සිදු කර ඇති බව පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes