General26 June 2026

මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

ආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් කුමාරසිංහ වෙත අද (26) භාරදී තිබෙනවා.

ඒ අනුව, සිය ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන අද දිනයේම ඔහු උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි මීට පවර අප කළ විමසීමකදී සඳහන් කළේ.

එම ලිපිය මගින් ඔහු කියා සිටින්නේ උප සභාපති ධුරයට අමතරව තමන් දැරූ මුදල් හා ප්‍රතිපත්ති කාරක සභාවේ සහ කාර්මික සේවා කාරක සභාවෙන් ද ඉල්ලා අස්වන බවයි.

අගලවත්ත නගරය නිසි පරිදි ප්‍රතිසංවිධානය කිරීමට තිබූ සැලසුම් නොසලකා හැරීම නිසා අගලවත්ත නගරය තවමත් යටගිය තත්ත්වයේම පැවතීම, මතුගම අධිකරණයේ තදබදය අවම කරමින් අගලවත්තට අධිකරණ සංකීර්ණයක් සහ නව පොලිස් ස්ථානයක් ගෙන ඒමට දුල්වෙල්ල ප්‍රදේශයෙන් වෙන් කළ අක්කර දෙකක භූමියේ වැඩකටයුතු දේශපාලන බලපෑම් මත නතර කිරීම, ප්‍රාදේශීය ලේකම්වරයා නිදහස් කර දුන් භූමියක 'හෙළ බොජුන්' අවන්හලක් ඇතුළු වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කළ යෝජනාවට සහය නොදැක්වීම යන කරුණු ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

තවද, මහජනතාවට සහ පාසල් දරුවන්ට අනතුරක්ව පවතින අගලවත්ත මංසන්ධියේ ඇති අබලන් ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට දිගින් දිගටම බාධා කිරීම, නගරයේ පවතින අබලන් පොදු වැසිකිළි වෙනුවට නව වැසිකිළි පද්ධතියක් හැදීමට ප්‍රමුඛතාව නොදී, සභාව සතු රුපියල් ලක්ෂ 400කට ආසන්න මුදල බැංකු පොතේ "යෝධ ඉතිරියක්" ලෙස තබාගෙන ජනතාව අපහසුතාවයට පත් කිරීම, තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සූර්ය කෝෂ සහිත වීථි පහන් පද්ධතියක් සවි කිරීමට සහ අනෙකුත් කොට්ඨාස 11 ආලෝකමත් කිරීමට ඉල්ලූ බලතල ලබා නොදීම යන කරුණු ද සඳහන්.

එසේම රටේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස වියතුන්ගේ ප්‍රසාදයට ලක්වූ වටිනා වාර්තාවක් ඉදිරිපත් කළ ද, සභාපතිවරයා ඇතුළු NPP කණ්ඩායම එය කියවා තේරුම් ගැනීමටවත් උත්සාහ නොකර කුණු බක්කියට දැමීම සහ රිදීරේඛාගම මාර්ගය නඩත්තුව සඳහා කළ ඉල්ලීම් දේශපාලන පටු මනසකින් යුතුව මඟ හැරීම ඔහු සිය තනතුරින් ඉල්ලා අස්විමට හේතු වී ඇති බවයි එම ලිපිය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එම ලිපිය මෙතැනින්,


Related recommendation
Hiru TV News | Programmes