General26 June 2026

සජබ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි; නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - ජවිපෙ මාධ්‍ය ඒකකය

සමගි ජන බලවේගය (සජබ) විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බරපතළ සාවද්‍ය සහ මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ අද (26) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, අල්ලස් චෝදනා මත ඊයේ (25) අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නැමැත්තාට, මීට මාස දෙකකට පෙර තම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ජනාධිපතිවරයා හමුවීමට එන ලෙස ආරාධනා කළ බවට වරුණ රාජපක්ෂ නමැත්තා විසින් චෝදනා කර ඇති බවයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ, පාතාල සබඳතා හා බැඳුණු මෙම අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇත්ද සහ බංකොලොත් වී ඇත්ද යන්න මෙමඟින් පැහැදිලි වන බවයි.

විවිධ වුවමනාකම් මත පසුබිම නොසලකා පුද්ගලයින් එකතු කර ගැනීමට වෙනත් පක්ෂවලට අවශ්‍ය වුවද, අපරාධකරුවන් තම පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

මෙවැනි සාවද්‍ය ප්‍රකාශ හරහා අපරාධමය සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට දරන උත්සාහය නිෂ්ඵල ක්‍රියාවක් බව ජවිපෙ අවධාරණය කරනවා.

අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් තම පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළා දකින බවත්, මෙම සාවද්‍ය ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes