General29 June 2026

ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී

ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගොස් දරුණු දියවැළකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි දහඅට හැවිරිදි තරුණයන් පස්දෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) බේරාගෙන ඇතැයි පොලිිස් මූලස්ථානය පවසනවා.

රාජගිරිය සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි 18 හැවිරිදි තරුණයන් පස්දෙනෙකු මෙලෙස අනතුරට මුහුණ දී තිබුණා.

ඔවුන් ගල්කිස්ස වෙරළේ දිය නාමින් සිටියදී එකවරම මතු වූ ප්‍රබල දියවැළකට හසුව මුහුද දෙසට ගසාගෙන ගොස් තිබූ අතර, එම අවස්ථාවේදී වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරිවල නිරතව සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත නිලධාරීන් පිරිසකගේ ඇස ගැටී ඇත්තේ තරුණයන් පිරිස උදව් ඉල්ලා කෑගසන හඬයි.

ඒ සමඟම වහා ක්‍රියාත්මක වූ පොලිස් සැරයන් (38788) නාගහවත්ත, පොලිස් කොස්තාපල් (31996) කසුන් සහ පොලිස් කොස්තාපල් (98684) කොඩිතුවක්කු යන ජීවිතාරක්ෂක නිලධාරීන් කණ්ඩායම වහාම මුහුදට පැන, ගසාගෙන යමින් සිටි තරුණයන් පස්දෙනාම නිරුපද්‍රිතව වෙරළට රැගෙන ඒමට සමත්ව තිබූ බවයි පොලිසිය පවසන්නේ.

වෙරළට රැගෙන ආ තරුණයන් පිරිස වෙත ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් වහාම අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදීමටද පියවර ගෙන තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes