International09 July 2026

ඉන්දියාවේ ආයෝජනයට ඔස්ට්‍රේලියාවට ඇරයුම්

ඉන්දියාවේ පවතින දැවැන්ත වෙළෙඳපොළ අවස්ථා සහ ඕස්ට්‍රේලියාව සතු තාක්ෂණික විශේෂඥතාව දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක බව පවසමින්, ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයන්ට ඉන්දියාවේ දිගුකාලීන ආයෝජන සඳහා එක්වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආරාධනා කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා යෝජිත ‘සමස්ත ආර්ථික සහයෝගිතා ගිවිසුම’ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා පවසාසිටියේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සමඟ එක්ව ‘ඕස්ට්‍රේලියා-ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය’ සහ ‘ආර්ථික මාර්ග සිතියම් ව්‍යාපාරික හමුව’ අමතමින් අගමැති මෝදි කියා සිටියේ, ඉන්දියාවේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය, ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය සහ දිනෙන් දින පුළුල් වන නවෝත්පාදන පරිසර පද්ධතිය හේතුවෙන් ඕස්ට්‍රේලියානු සමාගම් සඳහා නව අවස්ථා රැසක් නිර්මාණය වී ඇති බවයි.

දෙරටේ ආර්ථිකයන් අතර පවතින අන්‍යෝන්‍ය අනුපූරකතාවන් පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, නිෂ්පාදන ක්ෂේත්‍රය, පිරිසිදු බලශක්තිය, තීරණාත්මක ඛනිජ සම්පත්, පතල් කැණීම, යටිතල පහසුකම්, නාගරික සංවර්ධනය, ගුවන් සේවා, ලොජිස්ටික්ස්, උසස් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, මූල්‍ය තාක්ෂණය, ආහාර සැකසුම් සහ ඩිජිටල් ආර්ථිකය යන ක්ෂේත්‍ර හරහා ඉන්දියාව තුළ පවතින පුළුල් ආයෝජන අවස්ථා පිළිබඳව කරුණු පැහැදිලි කළා.

"ඉන්දියාවේ පවතින දැවැන්ත පරිමාණය සහ ඕස්ට්‍රේලියාව සතු විශේෂඥ දැනුම දෙපාර්ශවයටම ජයග්‍රාහී වාතාවරණයක් නිර්මාණය කරනවා," යනුවෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

එමෙන්ම ඉන්දියාව තුළ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරීත්වය වර්ධනය වීම පිළිබඳවද අගමැති මෝදි සිය සතුට පළ කළේය. උසස් අධ්‍යාපනය, පර්යේෂණ, නවෝත්පාදන සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රවල වඩාත් සමීප සහයෝගීතාවක් පැවතීම තුළින් අනාගත ගෝලීය අවස්ථාවන් සඳහා දෙරටේම දක්ෂතාවලින් පිරිපුන් ශ්‍රම බලකායක් බිහිකිරීමට මඟ පෑදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Related recommendation
Hiru TV News | Programmes