General13 July 2026

විමල් වීරවංශගේ නඩුවක් සැප්තැම්බර් 21 යළි කැඳවයි

2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් 21 වන දින යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද(13) නියෝග කළා. 

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබුණා.

ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණය පැවැත්වුණා.

විත්තිකරුවන් වන හිටපු ඇමති විමල් වීරවංශ මහතා, වීරකුමාර දිසානායක මහතා, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

හිටපු ඇමති විමල් වීරවංශ අද අධිකරණයේ පෙනී නොසිටිය අතර ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

සිද්ධියට අදාළ නඩුව සැප්තැම්බර් 21 යළි කැඳවිමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes