General15 July 2026

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි

ජනතාවාදි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද (15) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩෘ හමුව තිබෙනවා.

එහිදී ඔවුන් අධිකරණ ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිංස්කරණ සහ එම ක්ෂේත්‍රයේ විනිවිදභාවය සම්බන්ධයෙනුයි දැනුවත් කර ඇත්තේ.

එම හමුවෙන් අනතුරුව මහාචාර්ය ජී. එල්. පීරිස් සහ හිටපු අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

මෙරට කිසිම අයෙක් මෙවැනි ප්‍රතිසංස්කරණ ඉල්ලා නොමැති බවත්, නීතිඥ ප්‍රජාව, සිවිල් සමාජය, මහේස්ත්‍රාත්වරුන් සහ මන්ත්‍රීවරුන් මෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත්, එසේ නම් කාගේ වුවමනාවටද මෙය කරන්නේ ද? යනුවෙනුයි මහාචාර්යවරයා ප්‍රශ්න කර ඇත්තේ.

එසේම ඔහු සඳහන් කරන්නේ, සමස්ත ක්‍රියාදාමයේ කිසිදු විනිවිදභාවයක් නොමැති බවයි.

එක්සත් රාජධානිය 2021 වසරේදී මෙවැනි ප්‍රතිසංස්කරණයක් සඳහා වසර එකහමාරක කාලයක් ගනිමින්, විශ්වවිද්‍යාල සහ නීති ක්ෂේත්‍රයේ අදහස් 1200කට අධික ප්‍රමාණයක් ලබාගෙන විනිවිදභාවයකින් කටයුතු කළ ආකාරය පෙන්වා දුන් මහාචාර්යවරයා, ශ්‍රී ලංකා රජය කිසිදු කෙටුම්පතක් හෝ නිශ්චිත සංශෝධනයක් සමාජයට ඉදිරිපත් නොකර මෙම ක්‍රියාවලිය සිදුකරන බවට සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම පිළිබඳව මෙහිදී ප්‍රශ්න කළ බවයි.

එය සිදු වී මේ වනවිට දින 10ක් ගත වී ඇතත් රජයෙන් තවමත් නිල ප්‍රකාශයක් හෝ අතුරු වාර්තාවක් නිකුත් කර නොමැති බවත්, මෙවැනි සිදුවීමකදී ජීව උණ්ඩ වෙනුවට කඳුළු ගෑස්, රබර් උණ්ඩ වැනි දෑ භාවිතා කරමින් අවම බලය ක්‍රියාත්මක කිරීමට තිබූ බවත්, ඔහු පැවසුවා.

නමුත් එසේ නොවුණේ ඇයිද යන්නට උත්තර දෙන්න රජයේ කවුරුත් නොමැති අතර, ආණ්ඩුව සතුව තිබෙන්නේ උද්ධච්ඡ ප්‍රකාශ පමණක් යැයි හිටපු අමාත්‍ය සඳහන් කළා.



Related recommendation
Hiru TV News | Programmes