International16 July 2026

"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්

ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේදී ආර්ජන්ටිනාව හමුවේ එංගලන්තය ලැබූ පරාජය පිළිබඳව වේල්ස් කුමරු වන මහා බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයා සිය කනගාටුව පළ කර තිබෙනවා

ඔහු සඳහන් කර ඇත්තේ, 2-1ක් ලෙස සිදු වූ මෙම පරාජය පිළිබඳව තමා දැඩි සේ කනගාටු වන බවයි.

කෙන්සින්ටන් මාලිගය (Kensington Palace) විසින් නිකුත් කරන ලද ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ, "ඔබ පෙන්වූ සටන්කාමීත්වය සහ විශ්වාසය අප සැමටම ආශ්වාදයක් විය. තරගාවලියකදී දැකගත හැකි වූ වඩාත්ම සම්පූර්ණ එංගලන්ත කණ්ඩායම මෙයයි'' යනුවෙන්.

"ඔබේ හිස් ඔසවාගෙන සිටින්න," යැයි පැවසූ ඔහු, පාපන්දු සංගමයේ අනුග්‍රාහකවරයා වන විලියම් කුමරුගෙන්ම සෘජුවම මෙය පැමිණි බව අඟවමින් "W" ලෙස අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

"ඇදහිය නොහැකි තරගාවලියක් වෙනුවෙන් පිටිය ඇතුළත සහ පිටත සිටි සැමටම ස්තූතියි," යනුවෙන් ද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් ද එංගලන්තයේ පරාජය ගැන දැඩි සේ කනගාටු වන බව පැවසූ නමුත්, "රට නියෝජනය කරමින් ඔවුන් පෙන්වූ ශක්තිය අප සැමට ආඩම්බරයක් ගෙන දුන්නා," යැයි සඳහන් කර තිබෙනවා.

ඇට්ලන්ටාහිදී පැවැති තරගයේ පළමු අර්ධය ලකුණු රහිතව නිමාවීමෙන් පසු, 55 වැනි මිනිත්තුවේදී එංගලන්තයේ ඇන්තනි ගෝඩන් ගෝලයක් වාර්තා කළද, ආර්ජන්ටිනාව අවසන් මොහොතේ ගෝල දෙකක් ලබා ගනිමින් ස්පාඤ්ඤයට එරෙහිව පැවැත්වෙන අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා.



Related recommendation
Hiru TV News | Programmes