General29 August 2026

අද දහවල් 12.11ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකියි.

එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ඊයේ (28) සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතිනවා.

අද (29) දින දහවල් 12:11ට පල්ලවරායන්කඩු, අක්කරයන්කුලම්, අරි වියල් නගර්, පුදුකුඩි ඉරිප්පු සහ අනන්තපුරම් ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes