General29 August 2026

බහින්බස්වීම් සහ පැරණි අමනාපකම් දුරදිග ගොස් තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රී කාලයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව තංගල්ල පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ මහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හා ඔහුගේ සහෝදරයෙකු සමග ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ.

වයස අවුරුදු 28ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර, ඊයේ රාත්‍රී කාලයේදී ගාල්ල පොලිස් වසමේ ගල්වල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර තියණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ගාල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව ගාල්ල පොලිසිය සඳහන් කරනවා.

මරණකරු අවුරුදු 24ක් වූ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පැරණි අමනාපයක් මත දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇති අතර, ගැටුමේදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගාල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 19 හා 29 වයස්වල පසුවන වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes